Wednesday, May 15, 2019

සැළලිහිණි සන්දේශයේ වර්ණනා චාතුර්යය


සැළලිහිණි සන්දේශයේ වර්ණනා චාතුර්යය


සිංහල සන්දේශ සාහිත්‍යාවලියෙහි එන සන්දේශ අතර සැළලිහිණි සන්දේශයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. සිංහල සාහිත්‍ය වංසයෙහි ස්වර්ණමය යුගය ලෙස නම් කෙරෙන කෝට්ටේ යුගය තුළදී රචනා වී ඇති සැළලිහිණි සන්දේශය වනාහී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍ය රචනයකි. පූර්ව කාලයෙහි පෞද්ගලික අරමුණු මුල් කොට ගනිමින් රචනා වූ සන්දේශ, කෝට්ටේ යුගයෙන් පසු පොදු අරමුණු මුල් කරගනිමින් රචනා වන්නට විය. සැළලිහිණි සන්දේශය රචනා කිරීමෙන් අපේක්ෂා කර ඇත්තේ හයවන පැරකුම්බාවන්ගේ දියණිය වූ උලකුඩය දේවියට, ආයුෂ, සම්පත්, නුවණ හා යසස සහිත පුත් රුවනක් ලබාදෙන ලෙස කැලණියේ විභීෂණ සුරිදුන්ගෙන් අයැද සිටීමයි.

සිංහල සන්දේශ කාව්‍ය අතර සංක්ෂිප්තම සන්දේශ කාව්‍ය වන්නේ සැළලිහිණියයි. මියුරු වදන් සහිත සැළලිහිණියෙකු දූතයා කොට ගනිමින් සරල, සුගම භාෂා රටාවන් යොදාගෙන රචනා වූ මෙකී සන්දේශය සන්දේශ සාහිත්‍යයේ විශිෂ්ටතම සන්දේශය ලෙස ජනාදරයට පත් වූවකි. මෙහි ගමන් මග වූයේ ජයවර්ධනපුරයේ සිට කැලණිය දක්වාය. සංක්ෂිප්ත ගමන්මගක අලංකෘතත්වය සිය කාව්‍ය මනසට ගෝචර කරගනිමින් රචනා වූ සැළලිහිණි සන්දේශය වනාහී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ පරිණත වූ කාව්‍ය විශාරදත්වය මැනවින් ප්‍රදර්ශනය කරන කැඩපතක් වැනිය.

සැළලිහියෙහි කවියක් කටපාඩමින් කිවීමට නොදත් දරුවෙකු හෝ වැඩිහිටියෙකු සොයාගත නොහැකි තරම්ය. එය එතරම්ම රසවත් කාව්‍ය රචනයක් බව එයින්ම ගම්‍යමාන වේ. මෙම සන්දේශය මේ සා විශාල ජනාදරයට ලක්වීමට බලපෑ හේතුවක් වන්නේ එම සන්දේශය තුළින් ගම්‍ය වන වර්ණනා චාතුර්යයයි. වර්ණනා චාතුර්යය යනු යම්කිසි අත්දැකීමක් ඉතා රසවත්ව, නැවුම්ව, කාව්‍යාත්මකව ඉදිරිපත් කිරීමයි. එනම් අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාවයි. සෑම සන්දේශකරුවෙක්ම නිශ්චිත ආකෘතියකට අනුව සන්දේශය රචනා කර තිබේ. ඒ අනුව යමින් රාහුල හිමියන්ද කාව්‍යාත්මක පරිකල්පනා සහෘද මනස වෙත ගෙන එන්නේ තාත්විකත්වය මනාවට ඉස්මතු කරවමිනි. එකී ආකෘතිය කුළ දූත වැනුම, නගර වැනුම, මග වැනුම, සොබාදහම් වැනුම, උදා වැනුම යනාදී වැනුම් ගණනාවක් අන්තර්ගත වේ.

සැළලිහිණියා වර්ණනා කිරීමට කවියා ඉතා සූක්ෂම ක්‍රමෝපායන් භාවිත කර ඇති බව සනාථ කරගත හැකි සාක්ෂි දූත වැනුම තුළින් ඉස්මතු වේ. මයුර කවියාට මොණරා යනු තවත් පක්ෂියෙකු පමණි, ගිරා කවියාට ගිරවා යනු එක් පක්ෂියෙකු පමණි. නමුත් සැළලිහිනි කවියාට සැළලිහිනියා යනු තවත් එක් පක්ෂියෙකු පමණක් නොවේ. සැළලිහිණි කවියා සැළලිහිණියා දකින්නේ විටෙක මිනිස් දියනියක් වශයෙනි. සිය දරුවෙකු අමතන්නාක් මෙන් දැඩි මානව දයාවකින් කවියා දූතයා ආමන්ත්‍රණය කර ඇති අයුරු සිත්ගන්නා සුලුය.

            “වන දෙවිලියෝ නොකොලොද සවන අබර  
             එන මග දුකක් නොවීද සබදිනි කළ               
            සෙනෙහස බැදුණු තැන නොහරින කරැ දියු    
           වෙන සැප කුමට තොප දකිනා එම පම            ණ"

මෙකී දූත වැනුම තුළින් ගම්‍යමාන වන තවත් සුවිශේෂීතාවක් වන්නේ කවියා විසින් දූතයා කෙරෙහි හෙළා ඇති මානුෂික ස්වභාවයයි. අසීමාන්තික වූ ස්නේහයයි. කවියාට සැළලිහිණියා දැකීම තරම් වෙනත් සැපක් නොමැති බව දැක්වීමෙන්ම එකී දූතයා කෙරෙහි දක්වන ළබැදියාව කෙතරම්ද යන්න මනාව ධ්වනිත වේ.

දූතයා මලකට උපමා කිරීමට තරම් කවියා අව්‍යාජ වී ඇත. පුෂ්පයක් යනු මෙලොව සියල්ලන්ම අප්‍රමාණව ඇලුම් කරන වස්තුවකි. මෙකී වර්ණනාවන් අසන කල සිය අරමුණ මැනවින් ඉටු කිරීමට දූතයා පෙලඹෙයි. මේ තුළින් විද්‍යමාන වන්නේ අපූර්ව වස්තු රසාලිප්ත ආකාරයෙන් සහෘද මනසේ චිත්‍රරණය කරන්නට කවියා දැක්වූ අප්‍රමාණ කුසලතාව නොවේද?

 තවද සැළලිහිණියෙහි එන සමුදුර වැනුම ඉතා අලංකෘත කාව්‍යමය චින්තාවක් සහෘද චිත්ත අභ්‍යන්තරයට ගෙන යයි. අන් සන්දේශ කවීන්ට වඩා නවමු වූ අත්දැකීමක් කවියා උපයුක්ත කොටගෙන ඇති අයුරු මෙහිදී විමසිය හැකිය.
                  “ වළදින අදහසින් මෙනි සුර ගග අග        
                   නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙ න
                   වෙලළසැ ගැවසි මුතු සක් පබළු බබළ    
                  බල මහ මුහුද එම සද උතුරෙන් පෙනෙ    න"

මෙහි මහා සමුද්‍රයා හැඩි දැඩි වූ පුරුෂයෙකි. පෙම්වතෙකි. අහස් ගග සුකුමාල කාන්තාවකි. පෙම්වතියකි. තම පෙම්වතිය වැළදගන්නා අදහසින් මුහුද නම් පෙම්වතා රළ නැමැති අත් ඉහළට දිගු කිරීමක් ලෙස මුහුදෙහි රළ නැගීම දැක්වීම මනරම් වූ සංකල්පනාවකි. මෙබදු නවමු සංකල්පනා ඉදිරිපත් කිරීම සැළලිහිණි කවියාගේ ප්‍රතිභාපූර්ණත්වයට සාක්ෂි දෙයි. එපමණක් නොව කවියේ ශෘංගාරාත්මකබව රැකගැනීමට මෙන්ම ශබ්ද රසය කුළු ගන්වමින් ශ්‍රව්‍යගෝචරබව රැකගැනීමටද කවියා සමත් වී ඇත.‍ මෙහි “නල බල සසල දළ රළ පෙළ" යන්නෙහි ලකාරය බහුලව යොදාගෙන ඇත. මුහුද කැළඹී ඇති අවස්ථාවකදී කෙනෙකු තුළ ඇති වන ප්‍රීතිය, සන්තාසය වැනි නොයෙකුත් මනෝභාවයන් මෙම කවියෙහි ශබ්ද රසය තුළ ගැබ්වේ. සමුදයේ දැඩි රළ නැගීම කවියා රාගෝන්මාන්තික තරුණයෙකු පිළිබද සිතුවමක් මවයි. ශබ්ද රසයේ මෙන්ම අර්ථ රස‍යේ මනා සුසංයෝගයක් ලෙස හදුනාගත හැකිය.

ප්‍රතිභාපූර්ණ කවියා සැමවිටම සිය රසිකයා උසස් ජීවන දෘෂ්ටයක් කරා ‍මෙහෙයවන්නේ සිය භාෂාව නැමැති සියුම් වූත්, ඉතා තියුණු වූත් ආයුධය පාදක කරගනිමිනි. සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයාමට ඔහු දරන්නේ ප්‍රබල වෑයමකි. සැළලිහිනියා නොයෙක් ගම්දනවු පසු කරමින් කැලණි පුරවරට පැමිණීම යනු දූතයාගේ ඉෂ්ටාර්ථය මුදුන් පැමිණීම වේ. එය කවියා අලංකෘත අයුරින් කාව්‍යයට නගා ඇත්තේ මෙසේය.
                     
                   ''පැහැසරණිය මිණි පැමිණිය කොත් අග   
                    බද කිකිණිය දද ගිහිණිය විමන්            
                    නොව පැරණිය වන රමණිය විටින්   වි   
                    සැළලිහිණිය වදු කැලණිය පුරවර            ට"

කවියා මෙහිදී හුදෙක් පද්‍යයේ බාහිර ආකෘතිය රැකගැනීම සදහා එලිසමය යොදාගත් බවක් මෙහිදී නොපෙනේ. පද සංඝටනය නිරායාසයෙන්ම ගමනාන්තය විශද කිරීම සදහා ගැලපීඹක් දක්වයි. සැළලිහිණියා පුල පුලා බලා සිටියේ අසිරිමත් වූ කැලණි පුරවරය දැකබලා ගැනීමටය. අහස් කුසෙහි පියාසර කරමින් ආ දූතයා ක්‍රමයෙන් වේගය අඩු කරමින් පොළෝ තලය වෙතට පියාසර කරයි. එම පියාසර කිරීමේ රිද්මය මෙකී කාව්‍යයේ ශබ්ද රසය තුළ අන්තර්ගත වේ.

තවද චිත්ත රූප මැවීමෙහිලා කවියා දක්වා ඇති කුසලතාව සිත්ගන්නා සුලුය. විටෙක සැළලිහිනි සන්දේශය වනාහී චිත්‍ර කතාවක් හා සමානය. විටෙක උසස් තත්ත්වයේ සිනමා කෘතියක් මෙන්ය. ඒ බව තහවුරු කරන නිදසුනක් පහත වෙයි.

                    “ උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුව     
                      පහළ වන බැවින් තම වෙත නිසඹු දො 
                      ලකළ ගුවන් තල සිරියහනැ නිකස      
                     අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැ     ළ"

සොබාදහමේ සොදුරු සිදුවීම් හා අජීවී වස්තූන් කවියා කාව්‍යාත්මකව දැක ඇත්තේ එම වස්තූන්ට ජීවීබවක් ආරෝපණය කරවමිනි. කවියාට අනුව රාත්‍රිය යනු බිරිදයි. පූර්ණ චන්ද්‍රයා යනු සැමියාය. රාත්‍රිය නම් කාන්තාව සිය චන්ද්‍රයා නම් වූ සැමියා පිළිගැනීමට තාරකා නම් මල් ඇතිරූ යහන සකස් කරගෙන බලා සිටියි. තම යහන සකසාගෙන සැමියා එනතුරු බලා සිටින්නේ මහත් ආසාවෙනි. බිරිදක් හා සැමියෙකු අතර අසීමිත ළබැදියාව සොබාදහමේ අපූර්ව වස්තූන්ට ආදේශ කොට ඇති අයුරු සිත්ගන්නා සුලුය.

මෙලෙස කවියා හැකි සැමවිටම සිය වර්ණනා චාතුර්යය රසිකයා වෙත ගෙන එයි. රමණීය සංකල්ප රූප මවමින්, සෞන්දර්යාත්මක ප්‍රවේශයකට මංපෙත් කරමින්, බෙහෙවින්ම භාවාතිශය ස්වභාවයක් විද්‍යමාන කරමින් කවියා රසික හදවත් ස්පර්ශ කරන අයුරු අගය කළ යුතුය.

යථෝක්ක කරුණු අනුව සැළලිහිණි සන්දේශය සිංහල සන්දේශ කාව්‍යාවලිය තුළ විශිෂ්තටම කාව්‍ය රචනය බව සනාථ වේ. ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවීත්වයත්, සරල, සුගම වූ චිත්තාකර්ශනීය වචන සමුදායත්, ශබ්ද අර්ථ රසයන්ගේ මනා සුසංයෝගයත්, ධ්වනි ගුණයත්, සංක්ෂිප්ත ගුණයත්, රමණීය සංකල්පනාවන් යනාදී වූ සකලවිධ වූ කාරණා හේතුවෙන් සැළලිහිණි සන්දේශය වනාහී රසාලිප්ත කාව්‍ය රචනාවක් ලෙස අගය කළ හැකිය.

Wednesday, April 3, 2019

දහඅට සන්නියෙන් නිරූපණය වන රෝග නිර්ණයන්


දහඅට සන්නියෙන් නිරූපණය වන රෝග නිර්ණයන්

                  "ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ටී පරමං ධනං යනුවෙන් බුද්ධ භාිතයේ දක්වා ඇත්තේ නිරෝගීබව උතුම්ම ලාභය හා සතුට උතුම්ම ධනය වන බවයි. සියලුම ජාති ආගම්වල පරම පැතුම වන්නේද නිරෝගීභාවයයි.අද සමාජයේ නවීන වෛද්‍ය පහසුකම් ,යන්ත්‍ර සූත්‍ර හමුවේ පූර්වයෙන් රෝග හඳුනාගැනීමටත්,ඒවා සුව කිරීමටත් හැකියාව ලැබී ඇත.නවීන වෛද්‍ය විද්‍යාව ඒ තරමටම දියුණු වී තිබීම අප ලබාගත් සුවිශාල ජයග්‍රහණයකි.එදා සාම්ප්‍රදායික සමාජය තුළ ගැමියා රෝග නිවාරණය සඳහා යොදාගත්තේ යන්ත්‍ර මන්ත්‍ර,ගුරුකම්,ශාන්තිකර්ම වැනි සාම්ප්‍රදායික ක්‍රමෝපායන්ය.මිනිසුන් කෙරෙහි බැල්ම හෙළන අදිසි බලවේගයන්ගෙන් විවිධ අතුරු අන්තරා,දුක් පීඩා ඇතිවෙතැයි විශ්වාස කළ ඔවූහු මෙමඟින් ඒවා සමනය කරගත්හ.ඒ අතර ශාන්තිකර්ම යනු යක්ෂයින්,දෙවියන් ‍හෝ ග්‍රහයන් උදෙසා සිදුකරන පූජාකර්මයකි.පහතරට සම්ප්‍රදායේ එන ලෙස යක්ෂයින් උදෙසා සිදුකරන යක් තොවිල් වර්ග 04කි.
1)      දහඅට සන්නිය හෙවත් සන්නියකුම
2)      රටයකුම හෙවත් රිද්දි යාගය
3)      සූනියම් යාගය
4)      මහසොහොන් සමයම
              මෙම යක් තොවිල් වර්ග අතර දහඅට සන්නියට ප්‍රධාන තැනක් හිමිවේ.මෙම ශාන්තිකර්මය දකුණු පළාතේ ගාල්ල,මාතර,වැලිගම,අම්බලන්ගොඩ වැනි ප්‍රදේශවල බෙහෙවින් ප්‍රචලිතය.අපේ පාරම්පරික ප්‍රසංග කලාවෙහි එන ශිල්පීය ක්‍රම භාවිතය අතින් බලන කල දහඅට සන්නිය අනෙකුත් ශාන්තිකර්ම අභිබවා සිටී.මානසික දුර්වලතා හා බැඳුණු වා පිත්,සෙම් යන තුන්දොස් කිපීම හේතු කොටගෙන හටගන්නා සන්නි රෝග දහ අටක් එකින් එක විදාලමින්,එම රෝග සංකේතවත් කරමින්, වෙස් මුහුණු පැළඳ,රෝගියා ඉදිරියේ ත්‍රාසයෙන්,හාස්‍යයෙන්,කුතුහලයෙන් කරන මෙය එක්තරා ආකාරයක චරිත නිරූපණ ක්‍රියාවලියක් වන අතර අතීශය  චමත්කාරජනක රංඟයකි.නූතන සමාජයේ දැනුදු මේ ශාන්තිකර්මය කෙරෙන්නේ වැඩි වශයෙන් හුදු විනෝදය සඳහාය.තවත් අය, දරු දැරියන්ට ඉඳුල් කටගෑම සඳහාත්,ඇප නූල් බැඳ ඒ ඇප නිදහස් කරගැනීම සඳහාද පවත්වති.මේවායේ ඇති ගුප්ත බල අපේ පැරණි ගුරුවරුන් විසින් ආරක්ෂා කරගන්නා ලදී.
                                                           (ප්‍රනාන්දු, 1987.පි.iv)
                  එදා සමාජය තුළ රෝග නිධානය හඳුනා ගැනීම අපහසු සිහිමුර්ජා වීම්,අපස්මාරය වැනි රෝග ගැමියා හැඳින්වූයේ සන්නි රෝග ලෙසිනි.ඒ අනුව දහඅට සන්නිය යන නාමය මඟින්ම හෙළිවන පරිදි මෙම ශාන්තිකර්මයෙන් නිරූපණය වන්නේ මිනිසාට සැදෙන රෝග දහඅටක් පිළිබඳවය.මෙම ශාන්තිකර්මයේ පුද ලබන ප්‍රධාන යක්ෂයා වන්නේ මහා කෝල සන්නි යකාය.මොහුගේ උපත සම්බන්ධ ප්‍රචලිතම කතාව මෙසේය.
                විශාලා මහ නුවර සංඛපාල නම් රජ කෙනෙක් විය.ඔහු යුද්ධයක් සඳහා සිය බිරිඳ වන අසූපාල කුමරිය තනිකර මාළිඟයෙන් පිටත් වෙයි.ඒ වන විටත් තම බිරිඳ ගැබ්බරබව රජු නොදැන සිටියේය.මේ අතර කුමරියට මී අඹ කෑමේ දොලක් ඇති වේ.අසීරුවෙන් මී අඹයක් ගෙන්වාගත් කුමරිය එය තනිව අනුභව කරයි.කුමරිය තනිව මී අඹය අනුභව කිරීම නිසා කුමරිය කෙරෙහි වෛරයක් ඇති කරගත් දාසිය රජතුමා නැවත පැමිණි පසු කුමරිය මහ ඇමති නිසා ගැබ් ගත් බවට මුසා පවසයි.කිසිඳු විචාරයකින් තොරව එය පිළිගත් රජු කුමරියව පුබ්බේරිය ගසක එල්ලා මරන ලෙස නියෝග කරයි.ඇයව එසේ මැරීමට කඩුවෙන් ගැසූ විගස ශරීරය දෙපලු වෙයි.දෙපලු වූ පලු දෙක යළි එකතු වී මහා කෝල සන්නි යකා ඉපදෙයි.ඔහු තම මව මැරූ පලිය ගැනීමට විෂ බෙහෙත් ගුලි දහඅටක් සකස් කරයි.ඒ තුළින් අනික් සන්නි යකුන් දහඅට දෙනා උපත ලද බව කියවේ.ඔවුන් විශාලා මහනුවර තුන්බිය ඇතිකොට මිනිස් ජීවිත විනාශ කළ බව පැවසේ. දහඅට සන්නියේ උපත් කතාවට අනුව සන්නි යකුන් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදාගත් අයුරු මෙලෙසය.
මළකඳ ඇතුළෙන් ඉපදුන       කුමරෙකි
උනද සෙලෙස්මාවෙන් එක ගොල්ලෙකි
වායු පිතෙන් එහි හටගත්     සෙනඟකි          
අතුරු නගරයෙන් හටගත්   සෙනඟකි
ඉසේ ලෙඩට පස් දෙනෙක්     සදාගති      
‍‍දේ ලෙඩට පස්දෙනෙක්     සදාගති
සන්ධිවලට දහඅටට            බෙදාගති
දවසට දහයක් මිනී               මරාගති
       (අන්තර්ජාලය,www.lankadeepa.lk-2017 මැයි 21Article)
ඒ අනුවදහඅට සන්නිය මඟින් මිනිසාගේ වා පිත් සෙම් ආශ්‍රිත සියලු ලෙඩ රෝගවලට මානසික සුවයක් ලබාදීම සිදුවේ.දහඅට සන්නියේ එන සන්නි දහඅට මෙසේය.



1)      භූත සන්නිය
2)      අභූත සන්නිය
3)      වෙඩි සන්නිය
4)      අමුක්කු සන්නිය
5)      වාත සන්නිය
6)      ගොළු සන්නිය
7)      බීරි සන්නිය
8)      කණ සන්නිය
9)      මූර්තු සන්නිය
10)  ගිනිජල් සන්නිය
11)  දෙමළ සන්නිය
12)  නාග සන්නිය
13)  ගුල්ම සන්නිය
14)  කොර සන්නිය
15)  වෙව්ලුම් සන්නිය
16)  දේව සන්නිය
17)  පිස්සු සන්නිය
18)  කෝල සන්නිය



        මෙහි භූත සන්නිය මඟින් නිරූපණය වන්නේ වාතය හා පිත කිපීමෙන් ඇඟ සීතල වී ඇතිවන අතපය අමාරුව,සිහිනෙන් බියවීම,ආහාර අරුචිය,බඩ පෙරළීම,ඇඟපත කැසීම යනාදී රෝග ලක්ෂණයි.අභුත සන්නිය මඟින් භූත සන්නිය මෙන්ම වාතය මුල් කරගෙන සෑදෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.මොහු නිරතුරුවම බුදු අම්මෝ දනවෝ දනවෝ යනුවෙන් කෑ ගසයි.අමුක්කු සන්නිය මඟින් වමනය යාම,බඩ බුරුලෙන් යාම යනාදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.දහඅට සන්නිය තුළ හාස්‍ය රසය උද්දීපනය කරන හා විකට ස්වරූපයක් ගන්නා සන්නිය වන්නේ වෙඩි සන්නියයි.කන යට ගෙඩි හට ගැනීම,එන් ලේ සාරය වහනය වීම,මුහුණ ගිනි ජාලාවක මෙන් වෙව්ලන අයුරක් දැනීම,දෑත දෙපයේ දහඩිය දැමීම මොහු නිරූපණය කරන රෝග ලක්ෂණයි.
              
              වාත සන්නිය මඟින් සුව නොවන හිසරදය,ඉදිමුම,ඇඟ වෙව්ලුම,අත් පා සීතල වී සන්ධිවල වේදනාව හටගැනීම,කොරබව යන රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් වාත රෝගියෙකුගේ ස්වභාවය ගනී.සුව නොවන බඩේ අමාරුව,එළිය වැටෙන විට නිදිමත ගතිය යන රෝග ලක්ෂණ ගොළු සන්නිය මඟින් නිරුපණය කරයි.ඒ අනුව ගොළු සන්නිය මඟින් ගොළු පුද්ගලයෙකුගේ ස්වභාවයද,බීරි සන්නිය මඟින් බීරි පුද්ගලයෙකුගේ ස්වභාවයද,කණ සන්නිය මඟින් දෑස් නොපෙනෙන පුද්ගලයෙකුගේ ස්වභාවයද දක්වමින් ශරීරයේ කැසීම,හිසරදය,සිහිමද ගතිය යන රෝගයන් ද පෙන්නුම් කරයි.මෙම සන්නි මඟින් මිනිසුන්ගේ විවිධ රෝගයන් සැබෑවක් ලෙසටම හැගෙන්නා සේ ඉදිරිපත් කරයි. උණ රෝගියෙකු සතු රෝග නිර්ණයන් වන්නේ කෙඳිරීම,උඩු කය පොරෝනයකින් වසා සිටීම,හිසරදය,ආහාර අරුචිය,බඩ පෙරළවීම යනාදියයි.උණ රෝගයේ අසාධ්‍යබව ගිනිජල් සන්නිය මඟින් නිරූපණය කරයි.වාත නිසා හටගන්නා  රෝග වන සිහි නැතිවීම,නිතර කැසීම,වමනය,බඩේ අමාරුව වැනි රෝග ලක්ෂණ පිළිවෙලින් මුර්තු සන්නිය හා දෙමළ සන්නිය මඟින් දක්වයි.
           
            දහඅට සන්නියේ එන නාග සන්නිය යනු විශේෂ සන්නියකි.නාගයෙකුගේ පෙණය සහිත වෙස් මුහුණක් පැළඳ සිටින මෙම සන්නිය නාගයෙකුගේ ස්වභාවය ගනී.බඩේ රුදාව නිතරම ඇතිවන බව පෙන්වන ගුල්ම සන්නිය මඟින් ගුල්ම පණුවා විසින් ඇති කරන සියලු ලෙඩ රෝග පෙන්නුම් කරන අතර අත්පා කොරවීම,සන්ධි රුදාව වැනි රෝග නිර්ණයන් පෙන්නුම් කරන්නේ කොර සන්නිය මඟිනි.වෙව්ලුම් සන්නිය මඟින් බියට පත්වී ඇති උණ රෝගයෙන් පෙළෙන්නෙකුගේ ස්වභාවයක් නිරූපණය කරයි.දහඅට සන්නිය තුළ නිරූපිත දේව සන්නිය යනු තවත් සුවිශේෂී සන්නියකි.මෙය මිනිසාට යහපත් ආකාරයට මෙන්ම අයහපත් ආකාරයට ද බලපෑම් කරන බව කියවේ.ගම් රටවල් පාළු කරමින් මිනිස් සිරුර ලෙඩ කරවන අතර ඇඟපත අමාරු ඇති කරවයි.විශාලා මහනුවර ඇති වූවායැයි සලකන අභිවාතක රෝගය මෙන්ම සත් වසරකින් මියයන රෝගයක් මෙම සන්නිය මඟින් නිරූපණය කරයි.එමෙන්ම දේව සන්නිය නිසා සියලු වස්දොස් දුරුවී,සැප සතුට හිමිවේය යන විශ්වාසය ගැමියා තුළ පවතී. මනස විකDති තත්ත්වයට පත් වීමේ ස්වභාවය දක්වන පිස්සු සන්නිය නිරතුරුව ශරීරයේ පලු නැගීම,බඩේ අමාරුව,පිස්සු ස්වභාවයෙන් ඇවිදීම,ඔක්කාරය,සැමවිටම බියෙන් විසිම හා කොක් හ~ලා සිනාසීම වැනි රෝග නිර්ණයන් දක්වයි.මෙවැනි රෝග නිර්ණයන් පවතී නම් ඉන් සහනය ලබා ගැනීම සඳහා මෙම ශාන්තිකර්මය යොදාගනි.
                   දහඅට සන්නිය අතර එන අවසාන සන්නිය කෝල සන්නියයි.උගුරේ ගෙඩි සෑදීම,යටි බඩේ කැක්කුම,නරක හීන පෙනීම යන රෝග නිර්ණයන් මෙම සන්නියෙන් නිරූපිතය.මෙලෙසින් සන්නි දහඅට මඟින් එක් එක් සන්නියට විශේෂිත රෝග ලක්ෂණ සහිත වෙස් මුහුණු පැළඳ සිටීම විශේෂත්වයක් දරයි.අවසානයේ මහා කෝල සන්නි යකා හිස මත ගොක්කොළ ඔටුන්නක් පැළඳ වේදිකාවට පැමිණේ.මනුෂ්‍ය ලෝකයේ රෝගීන් සුවපත් කිරීමේ වරය තමාට බුදුරදුන් විසින් ලබා දුන් බව ඔහු පවසයි.සන්නි යකුන්ගේ මෙම රැඟුම අවසන් වන්නේ පසුවදා හිමිදිරියේය.ආතුරයාට ඇති රෝග නිර්ණයන් තම තමන්ට ඇති බව දක්වමින් ශාන්තිකර්මය අවසානයේ ඒවා සුවවන බවට විශ්වාසයක් ආතුරයා තුළ ඇති කරයි.කෙබදු ශාන්තිකර්මයකින් වුවද සිදු කරන්නේ දුක් කරදර හඳුන්වා දී ශාන්තිකර්මය අවසානයත් සමඟ සියලු දුක් පීඩා සමනය වන බවට විශ්වාසයක් ඇති කිරීමයි.
          ශාරීරික රෝග ලක්ෂණවලින් පෙන්නුම් කෙරෙන ගොළුවීම,බිහිරි වීම වැනි රෝග ලක්ෂණ පවා ඇතැම් විට මානසික විකDතියක් හේතුකොටගෙන ඇතිවිය හැකියැයි නිගමනය කිරීමෙන් පසු ගොළු සන්නිය,බීරි සන්නිය ආදී වූ දහඅටක් වූ සන්නි රැඟුම්පාමින්,එම රෝග සංකේතවත් කොට රෝග නිවාරණ උපක්‍රම භාවිත කරයි.දහඅට සන්නිය පටන්ගත් සිට අවසානය දක්වාම එක පෙළට දිවෙන නාට්‍ය සංදර්ශනයකි.
                                     (ප්‍රේමතිලක,1992. පි. 7)  
           සමස්තයක් වශයෙන් ගත් කල මෙම ශාන්තිකර්මය මඟින් ඉදිරිපත් කරන සන්නිවල රෝග නිර්ණයන් පහත පරිදි වේ.



·         හිසරදය
·         කෑමඅරුචිය
·         සන්ධිගත වේදනා
·         බඩේ අමාරුව
·          ඇඟපත වෙව්ලුම
·         කණ වීම
·         ගොළු වීම
·         බිහිරි වීම
·         වමනය
·         උණ ගැනීම
·         පලු නැගීම
·         නරක හීන පෙනීම



             යනාදී වූ ශරීරයේ වා පිත් සෙම් කිපීමෙන් ඇති වූත්,හිසේ සිට පාදාන්තය දක්වා වූ විවිධකාර වූ රෝග ලක්ෂණයි.අද  සමාජයේ මෙම ශාන්තිකර්මය පැවැත්වීම හුදෙක් විනෝදාස්වාදය ලබා ගැනීමට සීමා වී ඇත.එක් එක් ග්‍රාමීය ලක්ෂණ අනුව මෙය වෙනස් වුවත් සිංහල සංස්කෘතියේ නෂ්ටාවශේෂයන් ලෙස මෙය සැලකීම යුක්තිසහගත වේ.සාම්ප්‍රදායික සමාජයේ හදිසියේ හටගන්නා මෙවැනි රෝග නිර්ණයන්ට සුදුසුම ප්‍රතිකාරය ලෙස යොදාගත්තේ මෙම ශාන්තිකර්මයයි.වර්තමානයේ මෙම ශාන්තිකර්ම සුලබව දැකගත නොහැකි වී ඇත්තේ විද්‍යාවේ හා තාක්ෂණික දියුණුව ඉහළ මට්ටමක පැවතීම නිසාය.නමුත් මෙවැනි අපූර්ව සංස්කෘතික උරුමයන් අපගේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැකගැනීම අප සතු වගකීමක් මෙන්ම එය අප සතු පරම  යුතුකමක්ද වන්නේය.