Monday, September 30, 2019




ආදරණීය දරුවනි... සෑම දිනයක් ම ඔබ වෙනුවෙනි..

රටක පරහැබර අනාගතය ළමා සම්පත වේ. මවකට, පියෙකුට තම දරුවා මිල කළ නොහැකි සම්පතක් මෙන්ම ඕනෑම රටකට එම දරුවා අමිල සම්පතක් වනු ඇත. දසමසක් කුසේ දරා සිට මෙලොවට බිහි කරන රන්කැටියාගෙන් පවුලක් මෙන්ම රටක් බලාපොරොත්තු වන දෑ බොහෝ ය. ක්‍රමයෙන් වයසෙන් වැඩෙත්ම එම දරුවා පිළිබදව ඇති කරගන්නා අපේක්ෂාවන් ද දෙමාපියන් තුළ බොහෝය.

රටක සංවර්ධනය හා අනාගත පැතුම් සියල්ල ළමා සම්පත වෙත පැවරෙන්නේ ඉදිරි අනාගතයෙහි රටෙහි ප්‍රධාන මෙහෙයුම් හස්තය බවට පත්වන්නේ වත්මන් ළමා පරපුර නිසා ය. ඒ කෙසේ වෙතත් ළමා සම්පතෙන් මතුවට අපේක්ෂා කරන ඵලදායී අරමුණු සාක්ෂාත් කරගැනීමට නම් රටක් ජාතියක් වශයෙන් සියලු දෙනාම ඔවුන්ගේ වර්තමාන දිවියෙහි ඵලදායීත්වය සංවර්ධනය කිරීම සදහා කැපවිය යුතු ය. ඊට හේතුව වන්නේ වඩා ඵලදායී මානසික හා කායික සෞඛ්‍යයකින් යුතු නිරෝගී ළමා සම්පත ඉදිරි අනාගතය සදහා බලපෑම්කාරී වන බැවිනි. සෑම වසරක් පාසා ම ළමා සම්පත ඒකරාශී කරගෙන ඔක්තොම්බර් 01වන දින ලෝක ළමා දිනය ලෙස මහත් අසිරියකින් සමරනු ලබන්නේ ළමා සම්පත වෙනුවෙන්ම  වෙන්කරගත් සුවිශේෂී දිනයක් ලෙස එය සලකන බැවිනි.


ළමා ප්‍රචණ්ඩත්වය, ළමා හිංසනය, ළමා අයිතිවාසිකම් පිළිබද ව විද්‍යුත් මාධ්‍යයන් හා මුද්‍රිත මාධ්‍යයන් තුළින් මහත් ඉහළින් සාකච්ඡාවට ලක් කරන්නේ එම සුවිශේෂී දිනය ළමා සම්පත වෙනුවෙන් වෙන්කර ඇති නිසා ය. නමුත් රටක අනාගතය ලෙස සලකන ළමා සම්පත පිළිබද ව එක් සුවිශේෂී දිනයකට පමණක් සීමාකොට සාකච්ඡා හා විවාද කළ යුතු නොවේ.

වර්ෂයේ සෑම දිනයක්ම ළමා පරපුරේ දිනයක් විය යුතු තරමට කටයුතු සම්පාදනය කිරීම පාලක පන්තියේ හා වැඩිහිටි පාර්ශවයේ වගකීමක් වනු ඇත. එක් දිනකට පමණක් ළමා සම්පතෙහි අගය පිළිබදව සාකච්ඡාවට ලක්කිරීම වෙනුවට වැඩිහිටියන් ලෙස සෑම ජාතියක් විසින් ම ළමා සම්පත පිළිබද ව වැඩි අවධානයකින් හා අවබෝධයකින් කටයුතු කළයුතු අවධියක අප ජිවත්වීම මීට හේතුවයි. ළමා පරපරෙහි උද්‍යෝගීමත්භාවය හා සතුට වෙනුවෙන් දින දර්ශනය තුළ එක් දිනයක් වෙන් කළාට වරදක් නැත. නමුත් එහිදී එම දිනය ළමුන්ගේ කාර්යබහුල දෙමාපිය දින චර්යාව හා ජීවන කටයුතු න්‍යාය පත්‍රය තුළ ද දරුවන් වෙනුවෙන් ඉඩකඩක් වෙන් කරන්නට සමත් වන්නේ නම් එවැනි සුවිශේෂී දිනයක් ළමයින්  සදහා වෙන් කිරීමෙහි ඵලදායීභාවයක් පවතී. නොඑසේ නම් සිදුවන්නේ කාර්යබහුල දෙමාපිය දින චර්යාව තුළ එම දිනය නිවසේ වැඩ කටයුතු සිදුකරගැනීම සදහා අවකාශය වෙන්කරගැනීමයි. අද සමාජය තුළ බොහෝ විට සිදුවන්නේ එවැනි කටයුත්තක් සදහා එවැනි දිනයක් දෙමාපියන් විසින් වෙන් කරගැනීම නොවේ ද යන්න විමසා බැලිය යුතු ය.

ළමා සිත් වැඩිහිටි සිත් මෙන් කිලිටි නැත. මලක් මෙන් පවිත්‍රය. එනිසා එම සිත් කුඩා දේකින් වුව ද සතුටට පත්කළ හැකි ය. එනිසා ළමා සිත් සුවපත් කිරීමේ හැකියාව ඇත්තේ වැඩිහිටි පාර්ශවය වෙත ය. මෙලොව සිටින සෑම දෙමාපියෙක්ම හා වැඩිහිටියෙක්ම පාහේ වර්තමාන ලෝක ගමන්රටාව හා ජීවන ක්‍රමය සමග අනවරත අරගලයක නිරත වී සිටින බව සියල්ලන්වම දෘශ්‍යමාන වන සත්‍යයි. රැකියාව හා ජීවන කටයුතු සමග කාර්යබහුල ජීවිතයකට යොමුව ඇත්තේ ද තම දරුවන්ගේ අනාගතය සුඛිතමුදිත තත්ත්වයකට පත්කිරීමේ එකම අරමුණෙනි. නමුත් එම අරමුණ සමග කාර්යබහුල ජීවිතයකට ඔවුන් අවතීර්ණ වීම නිසාම තම දරුවන් දෙමාපියන්ටත් නොදැනීම ඔවුන්ගෙන් ඈත්වන බව බොහෝ දෙමාපියන්ට අනවබෝධ වන කරුණකි. ළමා සිත් සතුටු කිරීම සදහා දෙමාපියන් ලෙස විශාල දේ කිරීමට අව්‍යශ නොවේ. ඉතා සුළු දෙයකින් වුව ද ළමා සිත තෘප්තිමත් කිරීමේ අවකාශය දෙමාපියන්ට හිමිවේ. බොහෝ දෙමාපියන් අවබෝධ කරනොගන්නා සත්‍යය ද එයයි.

දරුවන් සදහා දෙමාපියන්ගේ කාලයෙන් කොටසක් වෙන් කිරීම, සොබාදහම ඇසුරු කිරීමට ඔවුන්ට අවස්ථාව දීම, දරුවන් හා ආගමික කටයුතුවලට සම්බන්ධ වීම, විනෝදාත්මක කටයුතුවල සතියකට වරක් හෝ නියැලීම, උත්සව අවස්ථාවලට සම්බන්ධ වීම, දරුවන් හා ආදරයෙන් කතාබහ කිරීම,  ළමයින්ගේ දක්ෂතා ඇගයීම හා දරුවන්ගේ යහපත් පුරුදු හා ක්‍රියාකාරකම් ඇගයීම, ප්‍රශංසාවට ලක්කිරීම සදහා ඔක්තොම්බර් 01වන දිනම වෙන්කර ගැනීම අවශ්‍ය නැත. දෙමාපියන්ට මෙන්ම වැඩිහිටි පාර්ශවයට මෙන්ම පාලක පන්තියට වසරේ සෑම දිනයක්ම ළමා දිනයක් ලෙස සැලකිය හැකිවිය යුතු ය. එම සෑම දිනයක්ම ළමයින්ගේ අභිවෘද්ධිය හා පැවැත්ම සදහා කටයුතු කළ යුතු ය.

වත්මන් ලෝකය තාක්ෂණය සමග ඉදිරියට ගමන් කරන බව සෑම දෙනාම දන්නා කරුණකි. එසේම ළමා පරපුර ද තාක්ෂණය සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගාගෙන පවතී. සෑම දෙමාපියෙකුගේ ම අරමුණ තම දරුවන්ට හොදම දේ ලබාදීම වන නිසා තාක්ෂණික ලෝකයේ ළමා ක්‍රියාකාරකම් සදහා තාක්ෂණය ඇසුරු කිරීමට අවස්ථාව නොපැකිලිව ඔවුන්ට ලබාදෙන්නේ ඒ නිසා ය. එහි කිසිදු වරදක් නැත. නමුත් එය නිවැරදි කළ නොහැකි වරදක් වන්නේ තාක්ෂණය සමග දරුවන් දක්වන අසීමිත සම්බන්ධතාවෙහි නිදහස උපරිම අයුරින් භුක්ති විදීමට ඔවුන්ට අවස්ථාව ලබාදීම සහ එවැනි ක්‍රියාකාරකම් පිළිබද ව විමසිලිමත්භාවයක් දෙමාපියන් හා වැඩිහිටියන් විසින් නොදැක්වූ විටදී ය. එනිසා එවැනි සම්බන්ධතාවලදී ළමයා කෙරෙහි දැඩි විමසිලිමත්භාවයකින් කටයුතු කිරීම තවදුරටත් වැදගත් වන්නේ තාක්ෂණයෙහි වහලෙකු බවට පත්වෙමින් දරුවාගේ අනාගතය තාක්ෂණය නිසාම මුකුලිතභාවයට පත්වීමේ වැඩි ඉඩකඩක් වත්මන් සමාජය තුළ පවතින නිසා ය. ළමා පරපුරට නිසි මගපෙන්වීම, රැකවරණය හා උපදේශනය සැලසීම වැදගත් වන්නේ මෙනිසා ය. වසරේ සෑම දිනයක්ම ළමයින්ගේ දිනයක් ලෙස සලකා ළමයින් කෙරෙහි නිසි අවබෝධයෙන් හා විමසිලිමත්භාවයකින් කටයුතු කරන්නේ නම් වත්මන් සමාජයෙහි පැනනගින බොහෝ ගැටලුවලට විසදුම් ලැබෙනු ඇත.

එමෙන්ම ළමයා නිසි පරිදි සමාජගත කිරීමේ වගකීම ගුරුවරයාට, පාසලට හා ආගමික සංස්ථාවලට හිමිවේය යන ඇතැම් වැඩිහිටියන් තුළ පවතින  සාවද්‍ය මතය සමාජය තුළින් බැහැර කළ යුතු කාලය පැමිණ තිබේ. මන්දයත් ළමයා පළමුවරට සමාජානුයෝජනය වන්නේ පවුලෙන් ලබන ආභාසය තුළිනි. එනිසා කුඩාකල සිට ම ළමයා නිවැරදි අයුරින් සමාජගත කිරීමේ සම්පූර්ණ වගකීම පළමුවරට හිමිවන්නේ පවුලට නිසා පවුල තුළින් ලබන ශික්ෂණය ඕනෑම ළමයෙකුගේ අනාගත දිවියෙහි පැවැත්ම සදහා මූලික අඩිතාලම සපයන බව සිහිතබා ගැනීම වැදගත් වනු ඇත. මෙහිලා ජනමාධ්‍ය හා නවමාධ්‍යයන්ගේ ක්‍රියාකාරකම් ද ප්‍රබල බලපෑමක් ඇති කරයි.
ළමා පරපුර පිළිබද ව අතිශයෝක්තියකින් යුතුව එක් සුවිශේෂී දිනයක දී සාකච්ඡාවට ලක්කළත් අනිකුත් සෑම දිනයකදී ම ඇතැම් ළමුන් විවිධ අඩන්තේට්ටම් හා ළමා හිංසනයට හෝ ළමා අපචාරවලට ලක්වන බව බොහෝ මාධ්‍ය වාර්තාකරණයන්ගෙන් සනාථ වේ. ඒ වාර්තාවන සිදුවීම් පමණකි. මෙලෙස කිසිදු අයුරකින් හෝ හෙළි නොවන එවැනි සිදුවීම් මෙම මිහිතලය මත කොපමණ අත්දැයි නුවණින් විමසා බැලිය යුතු ය.  දෙමාපිය රැකවරණය අහිමිව නිවස තුළ තනිව සිටින ඇතැම් ළමුන් විවිධ පුද්ගලයින් වෙතින් විවිධ අපචාරයන්ට හා අතවරයන්ට ගැහැනු පිරිමිභේදයකින් තොරව මුහුණපෑම යුගයේ ඛේදනීය තත්ත්වයකි. තම දරුවන්ගේ සතුට වෙනුවෙන් තමන් උපරිමයෙන් කැපවන බව බාහිර ලෝකයට පෙන්වුව ද සැබවින් ම තම දරුවාගේ සතුට ඔහුට නිසි ලෙස ලැබෙනවාද යන්න සෑම පාර්ශවයක් විසින් ම වරක් නොව සියවරක් වුව ද සිතා බැලිය යුතු කරුණකි.

ගෘහස්ථව දරුවන්ට අමානුෂික ලෙස හිරිහැර කරමින් තම කටයුතු ඉටුකරගන්නා ඇතැම් දෙමාපියන් හා වැඩිහිටියන් සමාජය තුළ සිටින බව සමාජය දෙස බැලීමේ දී තහවුරු වේ. එවැනි දෙමාපියන් සැබවින් ම දෙමාපියන් යන නාමය දැරීමට සුදුසු ද යන්න සිතා බැලිය යුතු ය. තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ගෙදර බුදුන් ලෙස හදුන්වා ඇති මව සහ පියාගේ උත්තරීතරභාවය නාමයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද සපථ කොට පෙන්විය යුතු ය.

නිවසේ දී පමණක් නොව මහමග, ප්‍රවාහන සේවය, පොදු ස්ථාන යන කවර ස්ථානයක දී වුවත් ළමා පරපුර වෙනුවෙන් තමා‍ගේ දරුවන් ලෙස සලකා ආදරය හා රැකවරණය ලබාදමට සෑම මවක්ම, පියෙක් ම හා වැඩිහිටියෙක් ම කටයුතු කළ යුතු ය. ළමා පරපුරට හිමිවිය යුතු අයිතිවාසිකම් හා නිදහස්බව භුක්ති විදීමට ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු අතර එහිදී දෙමාපියන් හා වැඩිහිටියන් ලෙස ඔවුන් පිළිබද ව විමසිලිමත්භාවයකින් කටයුතු කරනු විනා අසීමිත සීමා පැනවීම් හා සිර කිරීම් සිදුනොකිරීමට වගබලාගත යුතු ය. තව ද ළමා ලෝකයේ සුන්දරත්වය නිසි පරිදි විද ගැනීමට ඔවුන්ට අවකාශය සැලසීම සෑම පාර්ශවයක ම වගකීම වන අතර එහිදී නිසි අවධානයකින් කටයුතු කිරම මතු අභිවෘද්ධිය සදහා අවශ්‍ය වේ. ළමා පරපුර යහපත් වූත් සමබර වූත් මානසික හා කායික සෞඛ්‍යයකින් පරිපූර්ණ කිරීම සදහා ගත හැකි සෑම පියවරක් ම ගැනීම වැදගත් වේ. අනාගත ලෝකය ජය ගැනීමට සිටින ළමා කැකුළුවල මතු දියුණුව උදෙසා ඔක්තොම්බර් 01වන දින පමණක් නොව වසරේ සෑම දිනයක් ම වෙන්කරගැනීම වැඩිහිටි කාගේත් වගකීමක් බව සිහි තබාගත යුුතු ය.


No comments:

Post a Comment