Wednesday, May 15, 2019

සැළලිහිණි සන්දේශයේ වර්ණනා චාතුර්යය


සැළලිහිණි සන්දේශයේ වර්ණනා චාතුර්යය


සිංහල සන්දේශ සාහිත්‍යාවලියෙහි එන සන්දේශ අතර සැළලිහිණි සන්දේශයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. සිංහල සාහිත්‍ය වංසයෙහි ස්වර්ණමය යුගය ලෙස නම් කෙරෙන කෝට්ටේ යුගය තුළදී රචනා වී ඇති සැළලිහිණි සන්දේශය වනාහී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍ය රචනයකි. පූර්ව කාලයෙහි පෞද්ගලික අරමුණු මුල් කොට ගනිමින් රචනා වූ සන්දේශ, කෝට්ටේ යුගයෙන් පසු පොදු අරමුණු මුල් කරගනිමින් රචනා වන්නට විය. සැළලිහිණි සන්දේශය රචනා කිරීමෙන් අපේක්ෂා කර ඇත්තේ හයවන පැරකුම්බාවන්ගේ දියණිය වූ උලකුඩය දේවියට, ආයුෂ, සම්පත්, නුවණ හා යසස සහිත පුත් රුවනක් ලබාදෙන ලෙස කැලණියේ විභීෂණ සුරිදුන්ගෙන් අයැද සිටීමයි.

සිංහල සන්දේශ කාව්‍ය අතර සංක්ෂිප්තම සන්දේශ කාව්‍ය වන්නේ සැළලිහිණියයි. මියුරු වදන් සහිත සැළලිහිණියෙකු දූතයා කොට ගනිමින් සරල, සුගම භාෂා රටාවන් යොදාගෙන රචනා වූ මෙකී සන්දේශය සන්දේශ සාහිත්‍යයේ විශිෂ්ටතම සන්දේශය ලෙස ජනාදරයට පත් වූවකි. මෙහි ගමන් මග වූයේ ජයවර්ධනපුරයේ සිට කැලණිය දක්වාය. සංක්ෂිප්ත ගමන්මගක අලංකෘතත්වය සිය කාව්‍ය මනසට ගෝචර කරගනිමින් රචනා වූ සැළලිහිණි සන්දේශය වනාහී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ පරිණත වූ කාව්‍ය විශාරදත්වය මැනවින් ප්‍රදර්ශනය කරන කැඩපතක් වැනිය.

සැළලිහියෙහි කවියක් කටපාඩමින් කිවීමට නොදත් දරුවෙකු හෝ වැඩිහිටියෙකු සොයාගත නොහැකි තරම්ය. එය එතරම්ම රසවත් කාව්‍ය රචනයක් බව එයින්ම ගම්‍යමාන වේ. මෙම සන්දේශය මේ සා විශාල ජනාදරයට ලක්වීමට බලපෑ හේතුවක් වන්නේ එම සන්දේශය තුළින් ගම්‍ය වන වර්ණනා චාතුර්යයයි. වර්ණනා චාතුර්යය යනු යම්කිසි අත්දැකීමක් ඉතා රසවත්ව, නැවුම්ව, කාව්‍යාත්මකව ඉදිරිපත් කිරීමයි. එනම් අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාවයි. සෑම සන්දේශකරුවෙක්ම නිශ්චිත ආකෘතියකට අනුව සන්දේශය රචනා කර තිබේ. ඒ අනුව යමින් රාහුල හිමියන්ද කාව්‍යාත්මක පරිකල්පනා සහෘද මනස වෙත ගෙන එන්නේ තාත්විකත්වය මනාවට ඉස්මතු කරවමිනි. එකී ආකෘතිය කුළ දූත වැනුම, නගර වැනුම, මග වැනුම, සොබාදහම් වැනුම, උදා වැනුම යනාදී වැනුම් ගණනාවක් අන්තර්ගත වේ.

සැළලිහිණියා වර්ණනා කිරීමට කවියා ඉතා සූක්ෂම ක්‍රමෝපායන් භාවිත කර ඇති බව සනාථ කරගත හැකි සාක්ෂි දූත වැනුම තුළින් ඉස්මතු වේ. මයුර කවියාට මොණරා යනු තවත් පක්ෂියෙකු පමණි, ගිරා කවියාට ගිරවා යනු එක් පක්ෂියෙකු පමණි. නමුත් සැළලිහිනි කවියාට සැළලිහිනියා යනු තවත් එක් පක්ෂියෙකු පමණක් නොවේ. සැළලිහිණි කවියා සැළලිහිණියා දකින්නේ විටෙක මිනිස් දියනියක් වශයෙනි. සිය දරුවෙකු අමතන්නාක් මෙන් දැඩි මානව දයාවකින් කවියා දූතයා ආමන්ත්‍රණය කර ඇති අයුරු සිත්ගන්නා සුලුය.

            “වන දෙවිලියෝ නොකොලොද සවන අබර  
             එන මග දුකක් නොවීද සබදිනි කළ               
            සෙනෙහස බැදුණු තැන නොහරින කරැ දියු    
           වෙන සැප කුමට තොප දකිනා එම පම            ණ"

මෙකී දූත වැනුම තුළින් ගම්‍යමාන වන තවත් සුවිශේෂීතාවක් වන්නේ කවියා විසින් දූතයා කෙරෙහි හෙළා ඇති මානුෂික ස්වභාවයයි. අසීමාන්තික වූ ස්නේහයයි. කවියාට සැළලිහිණියා දැකීම තරම් වෙනත් සැපක් නොමැති බව දැක්වීමෙන්ම එකී දූතයා කෙරෙහි දක්වන ළබැදියාව කෙතරම්ද යන්න මනාව ධ්වනිත වේ.

දූතයා මලකට උපමා කිරීමට තරම් කවියා අව්‍යාජ වී ඇත. පුෂ්පයක් යනු මෙලොව සියල්ලන්ම අප්‍රමාණව ඇලුම් කරන වස්තුවකි. මෙකී වර්ණනාවන් අසන කල සිය අරමුණ මැනවින් ඉටු කිරීමට දූතයා පෙලඹෙයි. මේ තුළින් විද්‍යමාන වන්නේ අපූර්ව වස්තු රසාලිප්ත ආකාරයෙන් සහෘද මනසේ චිත්‍රරණය කරන්නට කවියා දැක්වූ අප්‍රමාණ කුසලතාව නොවේද?

 තවද සැළලිහිණියෙහි එන සමුදුර වැනුම ඉතා අලංකෘත කාව්‍යමය චින්තාවක් සහෘද චිත්ත අභ්‍යන්තරයට ගෙන යයි. අන් සන්දේශ කවීන්ට වඩා නවමු වූ අත්දැකීමක් කවියා උපයුක්ත කොටගෙන ඇති අයුරු මෙහිදී විමසිය හැකිය.
                  “ වළදින අදහසින් මෙනි සුර ගග අග        
                   නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙ න
                   වෙලළසැ ගැවසි මුතු සක් පබළු බබළ    
                  බල මහ මුහුද එම සද උතුරෙන් පෙනෙ    න"

මෙහි මහා සමුද්‍රයා හැඩි දැඩි වූ පුරුෂයෙකි. පෙම්වතෙකි. අහස් ගග සුකුමාල කාන්තාවකි. පෙම්වතියකි. තම පෙම්වතිය වැළදගන්නා අදහසින් මුහුද නම් පෙම්වතා රළ නැමැති අත් ඉහළට දිගු කිරීමක් ලෙස මුහුදෙහි රළ නැගීම දැක්වීම මනරම් වූ සංකල්පනාවකි. මෙබදු නවමු සංකල්පනා ඉදිරිපත් කිරීම සැළලිහිණි කවියාගේ ප්‍රතිභාපූර්ණත්වයට සාක්ෂි දෙයි. එපමණක් නොව කවියේ ශෘංගාරාත්මකබව රැකගැනීමට මෙන්ම ශබ්ද රසය කුළු ගන්වමින් ශ්‍රව්‍යගෝචරබව රැකගැනීමටද කවියා සමත් වී ඇත.‍ මෙහි “නල බල සසල දළ රළ පෙළ" යන්නෙහි ලකාරය බහුලව යොදාගෙන ඇත. මුහුද කැළඹී ඇති අවස්ථාවකදී කෙනෙකු තුළ ඇති වන ප්‍රීතිය, සන්තාසය වැනි නොයෙකුත් මනෝභාවයන් මෙම කවියෙහි ශබ්ද රසය තුළ ගැබ්වේ. සමුදයේ දැඩි රළ නැගීම කවියා රාගෝන්මාන්තික තරුණයෙකු පිළිබද සිතුවමක් මවයි. ශබ්ද රසයේ මෙන්ම අර්ථ රස‍යේ මනා සුසංයෝගයක් ලෙස හදුනාගත හැකිය.

ප්‍රතිභාපූර්ණ කවියා සැමවිටම සිය රසිකයා උසස් ජීවන දෘෂ්ටයක් කරා ‍මෙහෙයවන්නේ සිය භාෂාව නැමැති සියුම් වූත්, ඉතා තියුණු වූත් ආයුධය පාදක කරගනිමිනි. සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයාමට ඔහු දරන්නේ ප්‍රබල වෑයමකි. සැළලිහිනියා නොයෙක් ගම්දනවු පසු කරමින් කැලණි පුරවරට පැමිණීම යනු දූතයාගේ ඉෂ්ටාර්ථය මුදුන් පැමිණීම වේ. එය කවියා අලංකෘත අයුරින් කාව්‍යයට නගා ඇත්තේ මෙසේය.
                     
                   ''පැහැසරණිය මිණි පැමිණිය කොත් අග   
                    බද කිකිණිය දද ගිහිණිය විමන්            
                    නොව පැරණිය වන රමණිය විටින්   වි   
                    සැළලිහිණිය වදු කැලණිය පුරවර            ට"

කවියා මෙහිදී හුදෙක් පද්‍යයේ බාහිර ආකෘතිය රැකගැනීම සදහා එලිසමය යොදාගත් බවක් මෙහිදී නොපෙනේ. පද සංඝටනය නිරායාසයෙන්ම ගමනාන්තය විශද කිරීම සදහා ගැලපීඹක් දක්වයි. සැළලිහිණියා පුල පුලා බලා සිටියේ අසිරිමත් වූ කැලණි පුරවරය දැකබලා ගැනීමටය. අහස් කුසෙහි පියාසර කරමින් ආ දූතයා ක්‍රමයෙන් වේගය අඩු කරමින් පොළෝ තලය වෙතට පියාසර කරයි. එම පියාසර කිරීමේ රිද්මය මෙකී කාව්‍යයේ ශබ්ද රසය තුළ අන්තර්ගත වේ.

තවද චිත්ත රූප මැවීමෙහිලා කවියා දක්වා ඇති කුසලතාව සිත්ගන්නා සුලුය. විටෙක සැළලිහිනි සන්දේශය වනාහී චිත්‍ර කතාවක් හා සමානය. විටෙක උසස් තත්ත්වයේ සිනමා කෘතියක් මෙන්ය. ඒ බව තහවුරු කරන නිදසුනක් පහත වෙයි.

                    “ උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුව     
                      පහළ වන බැවින් තම වෙත නිසඹු දො 
                      ලකළ ගුවන් තල සිරියහනැ නිකස      
                     අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැ     ළ"

සොබාදහමේ සොදුරු සිදුවීම් හා අජීවී වස්තූන් කවියා කාව්‍යාත්මකව දැක ඇත්තේ එම වස්තූන්ට ජීවීබවක් ආරෝපණය කරවමිනි. කවියාට අනුව රාත්‍රිය යනු බිරිදයි. පූර්ණ චන්ද්‍රයා යනු සැමියාය. රාත්‍රිය නම් කාන්තාව සිය චන්ද්‍රයා නම් වූ සැමියා පිළිගැනීමට තාරකා නම් මල් ඇතිරූ යහන සකස් කරගෙන බලා සිටියි. තම යහන සකසාගෙන සැමියා එනතුරු බලා සිටින්නේ මහත් ආසාවෙනි. බිරිදක් හා සැමියෙකු අතර අසීමිත ළබැදියාව සොබාදහමේ අපූර්ව වස්තූන්ට ආදේශ කොට ඇති අයුරු සිත්ගන්නා සුලුය.

මෙලෙස කවියා හැකි සැමවිටම සිය වර්ණනා චාතුර්යය රසිකයා වෙත ගෙන එයි. රමණීය සංකල්ප රූප මවමින්, සෞන්දර්යාත්මක ප්‍රවේශයකට මංපෙත් කරමින්, බෙහෙවින්ම භාවාතිශය ස්වභාවයක් විද්‍යමාන කරමින් කවියා රසික හදවත් ස්පර්ශ කරන අයුරු අගය කළ යුතුය.

යථෝක්ක කරුණු අනුව සැළලිහිණි සන්දේශය සිංහල සන්දේශ කාව්‍යාවලිය තුළ විශිෂ්තටම කාව්‍ය රචනය බව සනාථ වේ. ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවීත්වයත්, සරල, සුගම වූ චිත්තාකර්ශනීය වචන සමුදායත්, ශබ්ද අර්ථ රසයන්ගේ මනා සුසංයෝගයත්, ධ්වනි ගුණයත්, සංක්ෂිප්ත ගුණයත්, රමණීය සංකල්පනාවන් යනාදී වූ සකලවිධ වූ කාරණා හේතුවෙන් සැළලිහිණි සන්දේශය වනාහී රසාලිප්ත කාව්‍ය රචනාවක් ලෙස අගය කළ හැකිය.

5 comments:

  1. හරිම වැදගත් ලිපියක් 👍

    ReplyDelete
  2. වැදගත් ලිපියක්...

    ReplyDelete
  3. දූත වැනුම විචාරයක් දාන්න පුළුවන් ද

    ReplyDelete