Wednesday, May 9, 2018

තාරුණ්‍යයේ නෙක රටා මවන විලාසිතා

          තාරුණ්‍යයේ නෙක රටා මවන විලාසිතා

අප ජීවත්වන ලෝකය අප හුස්ම ගැනීමේ වේගයටත් වඩා සීඝ්‍රයෙන් වෙනස් වේ. මිනිත්තුවෙන් මිනිත්තුව, තත්පරයෙන් තත්පරය ඇසිපිය හෙලන සැණින් වෙනස්වන ලෝකයට අනුරූපව අප ජීවිත ද ක්‍ෂ්ණයකින් වෙනස් වේ. එම ජීවිත අතර තාරුණ්‍යය යනු ජීවිතයේ සොඳුරු කාල සීමාවකි. එකී සුන්දර තාරුණ්‍යය හැඩ කරන්නට අද ලෝකයේ විවිධ විලාසිතා නිර්මාණය වේ. මෙම ලිපිය ලියන මොහොත වනවිටත්, ඔබ මෙම ලිපිය කියවන මොහොත වන විටත් නොයෙක් මාදිලියේ නව විලාසිතා රටාවන් ලෝකය තුළ නිර්මාණය වේ. විලාසිතාව වූ කලී නව මානව සිතිවිල්ලකි. එම සිතිවිල්ලට අනුව නව මානයන්, නව දැක්මන් ලෝකයට දායාද වන්නේ අපූර්ව ආකාරයටය. ශරීරය හැඩ කරන ඕනෑම පළඳනාවක්, ඇඳුමක්, ආයිත්තමක් විලාසිතාවක් විය හැකිය. නොඑසේ නම් අප ජීවත්වන ආකාරය, ජීවන රටාව එක් එක් තාරුණ්‍යයට ආවේණිකව අනන්‍ය විය හැකිය.

අතීතයේදී වර්තමානයේ මෙන් නව විලාසිතාවන් තිබුණේ නැත. අතීත ජනයාට අවශ්‍ය වූයේ ශරීරය ආවරණය කරගැනීමට හා සතුරන්ගෙන් ආරක්ෂා වීම පමණි. නමුත් අද්‍යතන සමාජය තුළ ඇඳුම පැළඳුම වූ කලී තම සමාජ මට්ටම, රැකියාව, රූ සපුව අන්‍යයන් ඉදිරියේ ප්‍රදර්ශනය කරවන පුද්ගල සමාජ ආභරණයක් වන තරමටම ප්‍රබල වී ඇති බව රහසක් නොවේ. තාරුණ්‍යය ඒ තරමටම මෙම නව විලාසිතාවන් වැළඳ ගැනීමට කැමැත්තක් දක්වන්නේ සිය ජීවන අවධියේ කෙළිලොල්බව, අත්හදා බැලීම් කිරීමට ආකර්ෂණයක් දැක්වීම සහ කැපී පෙනීම සඳහාය.

නූතනයේ කරුණ තරුණියෝ බොහෝ විට තම කේශ කලාපය වර්ණ ගැන්වීම, හිසකෙස් curl කිරීම, Rebonding කිරීම යනාදිය සිදු කරති. නොඑසේ නම් දිගට වවා තිබුණු සුන්දර කේශ කලාපය තට්ටු වශයෙන් කොටට කපා එයට Layer කරනවා යැයි පවසති. කොණ්ඩය  ඛ්හැර කිරීම නූතන තරුණියන්ගේ විලාසිතාව බවට පත්ව තිබේ. තරුණයන්ද නොයෙක් ආකාරයේ කොණ්ඩ විලාසිතාවන් භාවිත කිරීමට යොමු වී ඇති බව පෙනේ.

තරුණයන් මෙන්ම කලාතුරකින් තරුණියන් ද ශරීරයේ පච්ච කෙටීම අද වනවිට නූතන තාරුණ්‍යය වැළඳගත් විලාසිතාවක් බවට පත් වී හමාරය. අතීත ගෝත්‍රික සමාජවල ගෝත්‍රික පිරිස් පච්ච නැතහොත් Tatoos භාවිත  කළේ විලි වසා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් හා ආරක්ෂණ උපක්‍රමයක් වශයෙනි. අද එය විලාසිතාවක් බවට පත්ව ඇත. මෙයින් හැඟී යන දෘශ්‍යමාන සත්‍යය නම් පෙර පැවති කිසියම් හෝ දෙයක් නව මුහුණුවරකින් යළිත් ලෝකයේ නව ප්‍රවණතාවක් බවට පත්වන බවයි.

කෙසේ වෙතත් වත්මන් තාරුණ්‍යයේ විලාසිතා පිළිබඳව නම් ඇතැම් දෙමාපියන්, වැඩිහිටියන් වැඩි කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. ඔවුන්ගේ මතයට අනුව මෙම නව විලාසිතා භාවිත කරන තරුණිය සක්කරවට්ටමකි. නැතහොත් මල කෝලමකි. එය ඔවුන් හැදී වැඩී ආ සමාජ පරිසරය තුළින් ඔවුන් ලබාගත් ජීවන පන්නරය මත පවසන දෙයකි. මෙලොව සියල්ලෝම හැඩට සිටින්නට කැමැත්තක් දක්වති. එය හුදෙක් තමාගේ සමාජ මට්ටම ප්‍රදර්ශනය කිරීම සඳහා විය හැකිය. නැතහොත් සමාජ ආකර්ෂණය තමා වෙත ලබා ගැනීම සඳහා විය හැකිය.

ජනමාධ්‍ය තුළින් නව විලාසිතා හඳුන්වා ගැනීමෙහිලා ප්‍රබල කාර්යභාරයක් සිදු කරන බව පෙනේ. එම විද්‍යුත් මාධ්‍යවලින් ප්‍රචාරය වන ඇතැම් ටෙලිනාට්‍ය මෙම නව විලාසිතා තාරුණ්‍යයට හඳුන්වා දීමෙහිලා ප්‍රබල දායකත්වයක් සපයයි. නිදසුනක් ලෙස සුජාත දියණිනම් වූ කොරියන් ටෙලිනාට්‍ය විකාශය වූ සමයේ තරුණියන් තුළ චංගුමී හිස පළඳනාව එම යුගයේ කාන්තා විලාසිතාව බවට පත්වීම දැක්විය හැකිය.

තාරුණ්‍යය යනු විප්ලවවාදී ලෙස චර්යාවෙහි ප්‍රබල පෙරළියක් සිදුවන පෙරළිකාරී ජීවන අවධියකි. තවද කෙළිලොල් හැඟීම්වලින් යුතු නව අදහස් ජනිත කරවන, නව අත්හදා බැලීම් වෙත යොමුවීමට කැමැත්තක් දක්වන අවධියකි. එනිසා නව විලාසිතා තම ජීවිතයට එක් කර ගැනීමෙහි කිසිදු වරදක් නැත. එයින් විනිර්මුක්ත වී සිටීම ද අසාමාන්‍යතාවයකි. නමුත් එම විලාසිතා ජීවිතවලට එක්කර ගන්නා විට ඒ පිළිබඳ යම් දැනුවත්භාවයක් හෝ  සීමාවක් යම් පමණකට තමාට තිබීම ඉතා වැදගත් වේයැයි කිව හැකි වන්නේ නූතන තරුණ විලාසිතා නොයෙක් සමාජ ගැටලු ඇති කරවන්නේ යැයි සමාජයේ මතයක් පවතින නිසාය.

විශේෂයෙන්ම ඉතා කෙටි වූත්, ශරීරය වැඩි වශයෙන් නිරාවරණය වන්නා වූත් ස්ත්‍රී ඇඳුම් පැළඳුම් මඟින් කාමාතුරයන්ගේ හැඟීම් පුබුදුවා ස්ත්‍රී දූෂණ හෝ වෙනත් සමාජ ගැටලු ඇතිවන බවට සමාජයේ මතයක් පවතී. එය සත්‍යයක් වුවත් අසත්‍යයක් වුවත් ශ්‍රී ලංකාව වැනි ආවෘත සංස්කෘතියක් පවතින රටකට එවැනි ආකාරයේ විලාසිතා එක්වරම ආදේශ කරගැනීමේ ගැටලුවක් පවතින බව නම් අවිවාදිත කරුණකි.

ඒ කෙසේ වුවත් නූතන සමාජ පරිණාමයට අනුව නැතහොත් තාරුණ්‍යයේ භාෂාවෙන් කිවහොත් ලෝකය කැරකෙන ආකාරයට අපට ද වෙනස් වීමට සිදුව තිබේ. එනිසා තාරුණ්‍යයේ රූ සොබාව වැඩි දියුණු කරවන විලාසිතාවන් තම රටට, සංස්කෘතියට ගැලපෙන පරිදි සකස් කරගෙන භාවිත කිරීමට උත්සුක වන්නේ නම් සමාජය තුළ එවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවේ. නූතන තාරුණ්‍යය විමසන ආකාරයට මේ කාලයට Fashion කරන්නේ නැතිනම් වැඩක් තිබේද? ’ යන පැනය සමාජය වෙත යොමු වේ. ඊට හේතුව වන්නේ තරුණ අවධිය විවාහ බැඳම්වලින් තොර, සැහැල්ලු, විනෝදකාමී ජීවන අවධියක් වන හෙයිනි. තරුණ තරුණියන් මව්වරු, පියවරු වූ විට පසු තමන්ට අවශ්‍ය ආකාරයේ ඕනැම විලාසිතාවක් සිදු කිරීමට විවිධ බැඳීම් නිසා යම් ආකාරයක සීමා මායිම් ඇතිවේ. තාරුණ්‍යයේ එම මතය නිවැරදි වේ යැයි පැවසීම සාධාරණය. මේ අනුව තාරුණ්‍යයෙන් තොර තාරුණ්‍යයකින් ඵලක් නොවේ. නූතන සමාජය තුළ නව විලාසිතාවන් තම රටට, සංස්කෘතියට සුදුසු අයුරින් පමණක් නොව එය තමාගේ රූ සපුවට කොතරම් උචිත වේදැයි යන්න වරක් දෙවරක් නොව සියවරක් වුව ද නුවණින් විමසා බලා භාවිතයට ගැනීම කාලෝචිත මෙන්ම නුවණක්කාර බව කිව යුතුය.
                                                                           

                                                            

2 comments: