Wednesday, April 3, 2019

දහඅට සන්නියෙන් නිරූපණය වන රෝග නිර්ණයන්


දහඅට සන්නියෙන් නිරූපණය වන රෝග නිර්ණයන්

                  "ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ටී පරමං ධනං යනුවෙන් බුද්ධ භාිතයේ දක්වා ඇත්තේ නිරෝගීබව උතුම්ම ලාභය හා සතුට උතුම්ම ධනය වන බවයි. සියලුම ජාති ආගම්වල පරම පැතුම වන්නේද නිරෝගීභාවයයි.අද සමාජයේ නවීන වෛද්‍ය පහසුකම් ,යන්ත්‍ර සූත්‍ර හමුවේ පූර්වයෙන් රෝග හඳුනාගැනීමටත්,ඒවා සුව කිරීමටත් හැකියාව ලැබී ඇත.නවීන වෛද්‍ය විද්‍යාව ඒ තරමටම දියුණු වී තිබීම අප ලබාගත් සුවිශාල ජයග්‍රහණයකි.එදා සාම්ප්‍රදායික සමාජය තුළ ගැමියා රෝග නිවාරණය සඳහා යොදාගත්තේ යන්ත්‍ර මන්ත්‍ර,ගුරුකම්,ශාන්තිකර්ම වැනි සාම්ප්‍රදායික ක්‍රමෝපායන්ය.මිනිසුන් කෙරෙහි බැල්ම හෙළන අදිසි බලවේගයන්ගෙන් විවිධ අතුරු අන්තරා,දුක් පීඩා ඇතිවෙතැයි විශ්වාස කළ ඔවූහු මෙමඟින් ඒවා සමනය කරගත්හ.ඒ අතර ශාන්තිකර්ම යනු යක්ෂයින්,දෙවියන් ‍හෝ ග්‍රහයන් උදෙසා සිදුකරන පූජාකර්මයකි.පහතරට සම්ප්‍රදායේ එන ලෙස යක්ෂයින් උදෙසා සිදුකරන යක් තොවිල් වර්ග 04කි.
1)      දහඅට සන්නිය හෙවත් සන්නියකුම
2)      රටයකුම හෙවත් රිද්දි යාගය
3)      සූනියම් යාගය
4)      මහසොහොන් සමයම
              මෙම යක් තොවිල් වර්ග අතර දහඅට සන්නියට ප්‍රධාන තැනක් හිමිවේ.මෙම ශාන්තිකර්මය දකුණු පළාතේ ගාල්ල,මාතර,වැලිගම,අම්බලන්ගොඩ වැනි ප්‍රදේශවල බෙහෙවින් ප්‍රචලිතය.අපේ පාරම්පරික ප්‍රසංග කලාවෙහි එන ශිල්පීය ක්‍රම භාවිතය අතින් බලන කල දහඅට සන්නිය අනෙකුත් ශාන්තිකර්ම අභිබවා සිටී.මානසික දුර්වලතා හා බැඳුණු වා පිත්,සෙම් යන තුන්දොස් කිපීම හේතු කොටගෙන හටගන්නා සන්නි රෝග දහ අටක් එකින් එක විදාලමින්,එම රෝග සංකේතවත් කරමින්, වෙස් මුහුණු පැළඳ,රෝගියා ඉදිරියේ ත්‍රාසයෙන්,හාස්‍යයෙන්,කුතුහලයෙන් කරන මෙය එක්තරා ආකාරයක චරිත නිරූපණ ක්‍රියාවලියක් වන අතර අතීශය  චමත්කාරජනක රංඟයකි.නූතන සමාජයේ දැනුදු මේ ශාන්තිකර්මය කෙරෙන්නේ වැඩි වශයෙන් හුදු විනෝදය සඳහාය.තවත් අය, දරු දැරියන්ට ඉඳුල් කටගෑම සඳහාත්,ඇප නූල් බැඳ ඒ ඇප නිදහස් කරගැනීම සඳහාද පවත්වති.මේවායේ ඇති ගුප්ත බල අපේ පැරණි ගුරුවරුන් විසින් ආරක්ෂා කරගන්නා ලදී.
                                                           (ප්‍රනාන්දු, 1987.පි.iv)
                  එදා සමාජය තුළ රෝග නිධානය හඳුනා ගැනීම අපහසු සිහිමුර්ජා වීම්,අපස්මාරය වැනි රෝග ගැමියා හැඳින්වූයේ සන්නි රෝග ලෙසිනි.ඒ අනුව දහඅට සන්නිය යන නාමය මඟින්ම හෙළිවන පරිදි මෙම ශාන්තිකර්මයෙන් නිරූපණය වන්නේ මිනිසාට සැදෙන රෝග දහඅටක් පිළිබඳවය.මෙම ශාන්තිකර්මයේ පුද ලබන ප්‍රධාන යක්ෂයා වන්නේ මහා කෝල සන්නි යකාය.මොහුගේ උපත සම්බන්ධ ප්‍රචලිතම කතාව මෙසේය.
                විශාලා මහ නුවර සංඛපාල නම් රජ කෙනෙක් විය.ඔහු යුද්ධයක් සඳහා සිය බිරිඳ වන අසූපාල කුමරිය තනිකර මාළිඟයෙන් පිටත් වෙයි.ඒ වන විටත් තම බිරිඳ ගැබ්බරබව රජු නොදැන සිටියේය.මේ අතර කුමරියට මී අඹ කෑමේ දොලක් ඇති වේ.අසීරුවෙන් මී අඹයක් ගෙන්වාගත් කුමරිය එය තනිව අනුභව කරයි.කුමරිය තනිව මී අඹය අනුභව කිරීම නිසා කුමරිය කෙරෙහි වෛරයක් ඇති කරගත් දාසිය රජතුමා නැවත පැමිණි පසු කුමරිය මහ ඇමති නිසා ගැබ් ගත් බවට මුසා පවසයි.කිසිඳු විචාරයකින් තොරව එය පිළිගත් රජු කුමරියව පුබ්බේරිය ගසක එල්ලා මරන ලෙස නියෝග කරයි.ඇයව එසේ මැරීමට කඩුවෙන් ගැසූ විගස ශරීරය දෙපලු වෙයි.දෙපලු වූ පලු දෙක යළි එකතු වී මහා කෝල සන්නි යකා ඉපදෙයි.ඔහු තම මව මැරූ පලිය ගැනීමට විෂ බෙහෙත් ගුලි දහඅටක් සකස් කරයි.ඒ තුළින් අනික් සන්නි යකුන් දහඅට දෙනා උපත ලද බව කියවේ.ඔවුන් විශාලා මහනුවර තුන්බිය ඇතිකොට මිනිස් ජීවිත විනාශ කළ බව පැවසේ. දහඅට සන්නියේ උපත් කතාවට අනුව සන්නි යකුන් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදාගත් අයුරු මෙලෙසය.
මළකඳ ඇතුළෙන් ඉපදුන       කුමරෙකි
උනද සෙලෙස්මාවෙන් එක ගොල්ලෙකි
වායු පිතෙන් එහි හටගත්     සෙනඟකි          
අතුරු නගරයෙන් හටගත්   සෙනඟකි
ඉසේ ලෙඩට පස් දෙනෙක්     සදාගති      
‍‍දේ ලෙඩට පස්දෙනෙක්     සදාගති
සන්ධිවලට දහඅටට            බෙදාගති
දවසට දහයක් මිනී               මරාගති
       (අන්තර්ජාලය,www.lankadeepa.lk-2017 මැයි 21Article)
ඒ අනුවදහඅට සන්නිය මඟින් මිනිසාගේ වා පිත් සෙම් ආශ්‍රිත සියලු ලෙඩ රෝගවලට මානසික සුවයක් ලබාදීම සිදුවේ.දහඅට සන්නියේ එන සන්නි දහඅට මෙසේය.



1)      භූත සන්නිය
2)      අභූත සන්නිය
3)      වෙඩි සන්නිය
4)      අමුක්කු සන්නිය
5)      වාත සන්නිය
6)      ගොළු සන්නිය
7)      බීරි සන්නිය
8)      කණ සන්නිය
9)      මූර්තු සන්නිය
10)  ගිනිජල් සන්නිය
11)  දෙමළ සන්නිය
12)  නාග සන්නිය
13)  ගුල්ම සන්නිය
14)  කොර සන්නිය
15)  වෙව්ලුම් සන්නිය
16)  දේව සන්නිය
17)  පිස්සු සන්නිය
18)  කෝල සන්නිය



        මෙහි භූත සන්නිය මඟින් නිරූපණය වන්නේ වාතය හා පිත කිපීමෙන් ඇඟ සීතල වී ඇතිවන අතපය අමාරුව,සිහිනෙන් බියවීම,ආහාර අරුචිය,බඩ පෙරළීම,ඇඟපත කැසීම යනාදී රෝග ලක්ෂණයි.අභුත සන්නිය මඟින් භූත සන්නිය මෙන්ම වාතය මුල් කරගෙන සෑදෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.මොහු නිරතුරුවම බුදු අම්මෝ දනවෝ දනවෝ යනුවෙන් කෑ ගසයි.අමුක්කු සන්නිය මඟින් වමනය යාම,බඩ බුරුලෙන් යාම යනාදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.දහඅට සන්නිය තුළ හාස්‍ය රසය උද්දීපනය කරන හා විකට ස්වරූපයක් ගන්නා සන්නිය වන්නේ වෙඩි සන්නියයි.කන යට ගෙඩි හට ගැනීම,එන් ලේ සාරය වහනය වීම,මුහුණ ගිනි ජාලාවක මෙන් වෙව්ලන අයුරක් දැනීම,දෑත දෙපයේ දහඩිය දැමීම මොහු නිරූපණය කරන රෝග ලක්ෂණයි.
              
              වාත සන්නිය මඟින් සුව නොවන හිසරදය,ඉදිමුම,ඇඟ වෙව්ලුම,අත් පා සීතල වී සන්ධිවල වේදනාව හටගැනීම,කොරබව යන රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් වාත රෝගියෙකුගේ ස්වභාවය ගනී.සුව නොවන බඩේ අමාරුව,එළිය වැටෙන විට නිදිමත ගතිය යන රෝග ලක්ෂණ ගොළු සන්නිය මඟින් නිරුපණය කරයි.ඒ අනුව ගොළු සන්නිය මඟින් ගොළු පුද්ගලයෙකුගේ ස්වභාවයද,බීරි සන්නිය මඟින් බීරි පුද්ගලයෙකුගේ ස්වභාවයද,කණ සන්නිය මඟින් දෑස් නොපෙනෙන පුද්ගලයෙකුගේ ස්වභාවයද දක්වමින් ශරීරයේ කැසීම,හිසරදය,සිහිමද ගතිය යන රෝගයන් ද පෙන්නුම් කරයි.මෙම සන්නි මඟින් මිනිසුන්ගේ විවිධ රෝගයන් සැබෑවක් ලෙසටම හැගෙන්නා සේ ඉදිරිපත් කරයි. උණ රෝගියෙකු සතු රෝග නිර්ණයන් වන්නේ කෙඳිරීම,උඩු කය පොරෝනයකින් වසා සිටීම,හිසරදය,ආහාර අරුචිය,බඩ පෙරළවීම යනාදියයි.උණ රෝගයේ අසාධ්‍යබව ගිනිජල් සන්නිය මඟින් නිරූපණය කරයි.වාත නිසා හටගන්නා  රෝග වන සිහි නැතිවීම,නිතර කැසීම,වමනය,බඩේ අමාරුව වැනි රෝග ලක්ෂණ පිළිවෙලින් මුර්තු සන්නිය හා දෙමළ සන්නිය මඟින් දක්වයි.
           
            දහඅට සන්නියේ එන නාග සන්නිය යනු විශේෂ සන්නියකි.නාගයෙකුගේ පෙණය සහිත වෙස් මුහුණක් පැළඳ සිටින මෙම සන්නිය නාගයෙකුගේ ස්වභාවය ගනී.බඩේ රුදාව නිතරම ඇතිවන බව පෙන්වන ගුල්ම සන්නිය මඟින් ගුල්ම පණුවා විසින් ඇති කරන සියලු ලෙඩ රෝග පෙන්නුම් කරන අතර අත්පා කොරවීම,සන්ධි රුදාව වැනි රෝග නිර්ණයන් පෙන්නුම් කරන්නේ කොර සන්නිය මඟිනි.වෙව්ලුම් සන්නිය මඟින් බියට පත්වී ඇති උණ රෝගයෙන් පෙළෙන්නෙකුගේ ස්වභාවයක් නිරූපණය කරයි.දහඅට සන්නිය තුළ නිරූපිත දේව සන්නිය යනු තවත් සුවිශේෂී සන්නියකි.මෙය මිනිසාට යහපත් ආකාරයට මෙන්ම අයහපත් ආකාරයට ද බලපෑම් කරන බව කියවේ.ගම් රටවල් පාළු කරමින් මිනිස් සිරුර ලෙඩ කරවන අතර ඇඟපත අමාරු ඇති කරවයි.විශාලා මහනුවර ඇති වූවායැයි සලකන අභිවාතක රෝගය මෙන්ම සත් වසරකින් මියයන රෝගයක් මෙම සන්නිය මඟින් නිරූපණය කරයි.එමෙන්ම දේව සන්නිය නිසා සියලු වස්දොස් දුරුවී,සැප සතුට හිමිවේය යන විශ්වාසය ගැමියා තුළ පවතී. මනස විකDති තත්ත්වයට පත් වීමේ ස්වභාවය දක්වන පිස්සු සන්නිය නිරතුරුව ශරීරයේ පලු නැගීම,බඩේ අමාරුව,පිස්සු ස්වභාවයෙන් ඇවිදීම,ඔක්කාරය,සැමවිටම බියෙන් විසිම හා කොක් හ~ලා සිනාසීම වැනි රෝග නිර්ණයන් දක්වයි.මෙවැනි රෝග නිර්ණයන් පවතී නම් ඉන් සහනය ලබා ගැනීම සඳහා මෙම ශාන්තිකර්මය යොදාගනි.
                   දහඅට සන්නිය අතර එන අවසාන සන්නිය කෝල සන්නියයි.උගුරේ ගෙඩි සෑදීම,යටි බඩේ කැක්කුම,නරක හීන පෙනීම යන රෝග නිර්ණයන් මෙම සන්නියෙන් නිරූපිතය.මෙලෙසින් සන්නි දහඅට මඟින් එක් එක් සන්නියට විශේෂිත රෝග ලක්ෂණ සහිත වෙස් මුහුණු පැළඳ සිටීම විශේෂත්වයක් දරයි.අවසානයේ මහා කෝල සන්නි යකා හිස මත ගොක්කොළ ඔටුන්නක් පැළඳ වේදිකාවට පැමිණේ.මනුෂ්‍ය ලෝකයේ රෝගීන් සුවපත් කිරීමේ වරය තමාට බුදුරදුන් විසින් ලබා දුන් බව ඔහු පවසයි.සන්නි යකුන්ගේ මෙම රැඟුම අවසන් වන්නේ පසුවදා හිමිදිරියේය.ආතුරයාට ඇති රෝග නිර්ණයන් තම තමන්ට ඇති බව දක්වමින් ශාන්තිකර්මය අවසානයේ ඒවා සුවවන බවට විශ්වාසයක් ආතුරයා තුළ ඇති කරයි.කෙබදු ශාන්තිකර්මයකින් වුවද සිදු කරන්නේ දුක් කරදර හඳුන්වා දී ශාන්තිකර්මය අවසානයත් සමඟ සියලු දුක් පීඩා සමනය වන බවට විශ්වාසයක් ඇති කිරීමයි.
          ශාරීරික රෝග ලක්ෂණවලින් පෙන්නුම් කෙරෙන ගොළුවීම,බිහිරි වීම වැනි රෝග ලක්ෂණ පවා ඇතැම් විට මානසික විකDතියක් හේතුකොටගෙන ඇතිවිය හැකියැයි නිගමනය කිරීමෙන් පසු ගොළු සන්නිය,බීරි සන්නිය ආදී වූ දහඅටක් වූ සන්නි රැඟුම්පාමින්,එම රෝග සංකේතවත් කොට රෝග නිවාරණ උපක්‍රම භාවිත කරයි.දහඅට සන්නිය පටන්ගත් සිට අවසානය දක්වාම එක පෙළට දිවෙන නාට්‍ය සංදර්ශනයකි.
                                     (ප්‍රේමතිලක,1992. පි. 7)  
           සමස්තයක් වශයෙන් ගත් කල මෙම ශාන්තිකර්මය මඟින් ඉදිරිපත් කරන සන්නිවල රෝග නිර්ණයන් පහත පරිදි වේ.



·         හිසරදය
·         කෑමඅරුචිය
·         සන්ධිගත වේදනා
·         බඩේ අමාරුව
·          ඇඟපත වෙව්ලුම
·         කණ වීම
·         ගොළු වීම
·         බිහිරි වීම
·         වමනය
·         උණ ගැනීම
·         පලු නැගීම
·         නරක හීන පෙනීම



             යනාදී වූ ශරීරයේ වා පිත් සෙම් කිපීමෙන් ඇති වූත්,හිසේ සිට පාදාන්තය දක්වා වූ විවිධකාර වූ රෝග ලක්ෂණයි.අද  සමාජයේ මෙම ශාන්තිකර්මය පැවැත්වීම හුදෙක් විනෝදාස්වාදය ලබා ගැනීමට සීමා වී ඇත.එක් එක් ග්‍රාමීය ලක්ෂණ අනුව මෙය වෙනස් වුවත් සිංහල සංස්කෘතියේ නෂ්ටාවශේෂයන් ලෙස මෙය සැලකීම යුක්තිසහගත වේ.සාම්ප්‍රදායික සමාජයේ හදිසියේ හටගන්නා මෙවැනි රෝග නිර්ණයන්ට සුදුසුම ප්‍රතිකාරය ලෙස යොදාගත්තේ මෙම ශාන්තිකර්මයයි.වර්තමානයේ මෙම ශාන්තිකර්ම සුලබව දැකගත නොහැකි වී ඇත්තේ විද්‍යාවේ හා තාක්ෂණික දියුණුව ඉහළ මට්ටමක පැවතීම නිසාය.නමුත් මෙවැනි අපූර්ව සංස්කෘතික උරුමයන් අපගේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැකගැනීම අප සතු වගකීමක් මෙන්ම එය අප සතු පරම  යුතුකමක්ද වන්නේය.


Sunday, June 17, 2018

නූතන මිනිසා විචාරශීලීද?

නූතන මිනිසා විචාරශීලීද?

මිනිසා ස්වභාවයෙන්ම සන්නිවේදනාත්මක සත්ත්වයෙකි. නිරතුරුවම තොරතුරු පිපාසයෙන් පෙළෙන මිනිසා කවර උපක්‍රමයකින් හෝ එකී පිපාසය සංසිඳුවා ගැනීම සඳහා කටයුතු කරයි. සාම්ප්‍රදායික සන්නිවේදන උපක්‍රම වන හූව, අණබෙරය, දුම යනාදී සන්නිවේදන ක්‍රමවලින් තෘප්ත නොවූ මිනිසා තම අවශ්‍යතා සංකීර්ණ වීම සමඟ ජනමාධ්‍ය නැමැති ප්‍රධාන සන්නිවේදන ක්‍රමය වෙත යොමුවිය. වර්තමානයේ මිනිසා නවමාධ්‍ය ආක්‍රමණය කොට ඇතත් තවමත් මිනිසා වෙත තොරතුරු ලබාදීමේ ප්‍රධාන මෙහෙවර කරන්නේ ජනමාධ්‍ය මඟින් බව අමුතුවෙන් කිවයුතු නොවේ. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය යනු එම ජනමාධ්‍ය ත්‍රිත්වයයි. වර්තමානය වන විට මෙම ජනමාධ්‍ය මිනිසාගේ ජීවන රටාවේ කේන්ද්‍රය මෙහෙයවීමට තරම් බලවත් වී ඇත. පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය උඩු යටිකුරු කිරීමට තරම් බලයක් ජනමාධ්‍ය සතුවේ. මෙනිසා සන්නිවේදන කාර්යය තුළ මිනිසා ජනමාධ්‍ය සමඟ සිදුකරන ගනුදෙනුවේදී ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
මිනිසා විටෙක සහෘදයෙකි. විටෙක රසිකයෙකි. තවත් විටෙක ප්‍රේක්ෂකයෙකි. පාඨකයෙකි. මෙම කුමන නාමයන්ගෙන් එක් එක් මාධ්‍යන්ට විශේෂිතව මිනිසා හඳුන්වනු ලැබුවද පොදුවේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ ඔහු ග්‍රාහකයෙකි. මෙතැන් සිට මෙම ලිපිය තුළ මිනිසා පොදු වශයෙන් හඳුන්වනු ලබන්නේ ග්‍රාහකයා යන නාමයෙනි. ජනමාධ්‍ය සමඟ කටයුතු කරන ග්‍රාහකයා සතුව පැවතිය යුතු ඉතාම වැදගත් ගුණාංගයක් ලෙස විචාරශීලී ග්‍රාහකත්වය හැඳින්විය හැකිය. විචාරශීලී ග්‍රාහකයෙකු ලෙස අර්ථ දක්වන්නේ වගකීමකින් හා නිසි අවබෝධයකින් යුතුව විමර්ශනශීලීව ජනමාධ්‍ය සමඟ කටයුතු කරන පුද්ගලයෙකි. එනම් ජනමාධ්‍යයන්ගෙන් ලබාදෙන සන්දේශයන්හි මතුපිට අරුත මෙන්ම යටි අරුතද මැනවින් විමසා බලා කටයුතු කරන්නෙකු ලෙස සරලව හඳුන්වාදිය හැකිය.
මෙම විචාරශීලීත්වය මිනිසාට උපතින් ලැබෙන්නක් නොවේ. නැතහොත් පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන්නක්ද නොවේ. එය ග්‍රාහකයා විසින් ජනමාධ්‍ය පිළිබඳව ස්වයං අධ්‍යයනයකින් ලබාගත යුතු වන්නකි. ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය හා එහි අන්තර්ගතය පිළිබඳව සන්සන්දනාත්මක විග්‍රහයක් සිදුකිරීම තුළින් මෙකී ග්‍රාහක විචාරශීලීත්වය උසස් මට්ටමකට ගෙන ඒමට හැකිය. කෙසේ වෙතත් මාධ්‍ය සාක්ෂරතාව අතින් පහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාව වැනි රටක මෙම ග්‍රාහක විචාරශීලීත්වය ඇති කිරීමද මදක් අපහසු කාර්යයකි. මන්දයත් වර්තමාන ජනමාධ්‍ය න්‍යාය පත්‍රය මඟින් ග්‍රාහකයා සතු විචාරශීලීත්වය අක්‍රීය කර ඇති බැවිනි.
ජනමාධ්‍ය බොහෝවිට තම වැඩසටහන් ව්‍යූහය සකස් කරනු ලබන්නේ ළමයින්, කාන්තාවන් හා යෞවනයින් යන ප්‍රධාන ජන කණ්ඩායම් ඉලක්ක කරගෙනය. එම ජන කොටස් නිරායාසයෙන් කිසිදු විචාර බුද්ධියකින් තොරව ජනමාධ්‍ය මඟින් මවනු ලබන සිහින ලෝකය තුළ මංමුලාව කටයුතු කරනු දැකගත හැකිය. මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසන ආකාරයට ජනමාධ්‍ය මඟින් තුන් ආකාරයක භූමිකා ඉටු කළ යුතුය. එනම්,
            01) ආරක්ෂකයෙකු
            02) සංවාද මණ්ඩපයක්
            03) ගුරුවරයෙකු යන භූමිකා ඒවා වේ.


නමුත් වර්තමාන ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මෙකී භූමිකා මැනවින් ඉටු කරන්නේද යන්න ගැටලුවකි. වාණිජකරණය වූ සමාජයක වර්තමාන ජනමාධ්‍ය කටයුතු කරන්නේ ලාභ ලබාගැනීම හා ජනප්‍රියත්වය ලබාගැනීමේ පටු අරමුණු තෘප්ත කරගැනීම සඳහාය. ජනමාධ්‍ය අන්තර්ගතය පවා සකස් කරනු ලබන්නේ වාණිජ අරමුණු ඉටු කරගැනීමට බව ඒ පිළිබඳව විමර්ශනශීලීව බැලීමේදී පැහැදිලි වේ. කෙසේ වෙතත් ග්‍රාහකයාට මෙම ජනමාධ්‍ය මවන ජනප්‍රිය සංස්කෘතිය හා අතාර්තික සිහින ලෝකය පිළිබඳව අවබෝධයක් නැත. එකී තත්ත්වයට ග්‍රාහකයා හෙවත් මිනිසා පත් කර ඇත්තේද ජනමාධ්‍යයමයි. මිනිසා සතු විචාරශීලීත්වය, පරිකල්පනය ජනමාධ්‍ය මඟින් උදාසීන කර තිබේ.
විශේෂයෙන් ජනමාධ්‍ය තුළින් ඉදිරිපත් කරන දැන්වීම්කරණය මඟින් මෙම තත්ත්වය මැනවින් පැහැදිලි කරගත හැකිය. එහිදී ජනමාධ්‍ය මිනිසාගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ඉතා සුක්ෂමශීලී ලෙස භාවිතයට ගන්නේ දක්ෂ මනෝ වෛද්‍යවරයෙකු පවා අතික්‍රමණය කරමිනි. ග්‍රාහක පිරිස ස්පර්ශ කරන වර්ණ, හැඩතල, රූපරටා යනාදිය ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමෙහිලා ජනමාධ්‍ය ඉදිරියෙන් සිටී.
ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය මඟින් ජනමාධ්‍ය මිනිසාගේ දෙනෙත් නොයෙක් කඩතුරාවන්ගෙන් වසා තිබේ. එවැනි තත්ත්වයක් තුළ මිනිසාට ජනමාධ්‍ය සන්දේශයන්හි යටි අරුත හඳුනා ගැනීමට අපහසු වී තිබේ. වර්තමාන සමාජයේ පැන නැගී ඇති පුද්ගලාත්මක ගැටලු හා සමාජ ගැටලු බොහෝමයකට හේතු වී තිබෙන්නේ ග්‍රාහකයාගේ අවිචාරමත්භාවය බව එම කරුණු දෙස ගැඹුරින් විමසා බැලීමේදී පැහැදිලි වේ. එනිසා රටක බහුතරයක් වූ ග්‍රාහක පිරිස වෙත වගකීමකින් හා විචාරශීලීව ජනමාධ්‍ය පරිහරණය කිරීමට අවශ්‍ය නිපුණතාව සංවර්ධනය වී උසස් මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් රට තුළ ඇති කළ යුතුය. එය යුගයේ කාලීන අවශ්‍යතාවයකි.
                                                                           
                                                                                           

Thursday, June 14, 2018

වර්තමාන ගීතය හා තරුණ පරපුර


වර්තමාන ගීතය හා තරුණ පරපුර

ගීතය වනාහී නානාප්‍රකාර වූ සාහිත්‍යාංග අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා සාහිත්‍යාංගයකි. මිනිසාගේ පරිකල්පනය අවදි කර උසස් මනෝභාවයන් කරා මිනිසාගේ මනස මෙහෙයවීමට තරම් අපූර්ව බලයක් ගීතය සතුය. එමෙන්ම අවිවේකී මිනිස් සිතට සැහැල්ලු වින්දනයක් ලබාදීමට ගීතයට ඇත්තේ පුදුම ශක්‍යතාවයකි. එදිනෙදා තම වැඩකටයුතු කරන අතරවාරයේ තමන්ටත් නොදැනුවත්වම ගීතයක් තම මුවින් පිටවන අයෙකු සොයාගැනීම අපහසු නොවේ. ඒ තරමටම මිනිසා ගීතය හා බැඳී පවතී. මෙකී කාරණයේදී ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් තාරුණ්‍යයයි. තාරුණ්‍යය යන පදය සමඟම සමපාත වන ප්‍රේමය යන අත්දැකීම පාදක කරගනිමින් අද බොහෝ ගීත රචනා ලියැවෙන්නේ හිසේ කෙස් ගාණටත් ඉහළිනී. මෙම ලිපිය ලියන මොහොතේද, ඔබ මෙම ලිපිය කියවන මොහොතේද නොයෙක් ගී පදවැල් ලෝකය තුළ රචනා වනු ඇත. නමුත් එකී පදවැල් අරුත්බරද යන්න අද සමාජයේ විද්වතුන් නගන පැනයකි.

ප්‍රේමය නම් වූ සුන්දර අත්දැකීම කෙනෙකුට සුන්දරත්වයක් එක් කරන අතරම තවත් කෙනෙකුට එකී අත්දැකීම විටෙක දුකක් ගෙනදෙන බව අප හොඳින් දන්නා කරුණකි. ආදරය කිරීම, විරහව මෙලොව සැමට පොදුවූ අත්දැකීම්ය. නිර්මාණකරුවන් මෙකී අත්දැකීම් ඉදිරිපත් කිරීමට යොදාගන්නා වර්තමාන ගී පදවැල් අතීත ගීත නිර්මාණයන් සමඟ සසදා බලන කල ඉතා පැහැදිලි වෙනසක් දැකගත හැකිය. H.R.  ජෝතිපාල, ලතා වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක යනාදී ප්‍රවීණ ගායක ගායිකාවන් එකී අත්දැකීම් ඉතා හෘදයාංගම ලෙස රසිකයා අතරට ගෙනයාමට සමත්කම් දැක්වූහ. ඔවුන්ගේ සුමිහිරි ගායනාවන් රසික සිත් අමන්දානන්දයට පත් කළ බව නොරහසකි. එම ගී පදවැල් වර්තමාන තාරුණයය තුළින්ද නිරායාසයෙන්ම ගැයෙන්නේ ඒ තරමටම එකී ගී පදවැල් හා ගායනා මිනිස් හද ඇඳබැඳ ගත් නිසාය.

වර්තමානයේ රචනා වන බොහෝ ගීත තුළ කිසිදු රසවත්භාවයක් හෝ අර්ථාන්විතභාවයක් දැකගත හැකිවන්නේදැයි විමර්ශනශීලීව අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. වත්මන් ගීත රචනා බොහෝමයක දැකගත හැකිවන්නේ ඒකාකාරී වදන් මාලාවකි. එම පද තුළ නිසියාකාර භාව ප්‍රබෝධයක් නැත. බොහෝ ගායකයින් ගීතය ගායනා කරන්නේ විලාපයක් මෙනි. එකී විලාපය රසිකයාගේ දුක තුනී කරනු වෙනුවට රසිකයාගේ සිත තවත් චංචල කරයි. එකී විලාපකාරී ගායනාවන් රසික සිත් අමන්දානන්දයට පත් කරනු වෙනුවට තරුණ සිත් තුළ නොසන්සුන්තාවයක් ඇති කරයි. කෙසේ වෙතත් වත්මන් තාරුණ්‍යය එම ගීත ආදරයෙන් වැළඳගෙන හමාරය. ගීතයේ භාවාතීශමය හැඟුමන් පුබුදුවනු විනා තාවකාලික වින්දනයක් සඳහා තරුණ්‍යය එම ගීත වැළඳගෙන හමාර බව අමුතුවෙන් කිව යුතු නැත.

ගීතයට මේ යැයි කිව හැකි නිශ්චිත භාෂාවක් නැත. නමුදු යොදාගන්නා පද සංඝටනය තුළින් ගීතයට මනරම් භාෂාවක් ගොඩනැගේ. ප්‍රේමකීර්තිද අල්විස් වැනි සුන්දර ගායකයින් ගීතය තුළින් උද්දීපනය කළ රසය මේ යැයි කියා වචනයෙන් පැවසිය නොහැකි තරමටම විශිෂ්ට මට්ටමක පවතින බව ලොකු, කුඩා කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ගීතයේ වදන් වැල් සහෘද අභ්‍යන්තරය කැලඹවීමට උත්සාහ කරයි. ගීතයේ නාදවැල් සහෘදයා අපූර්ව වූ ලෝකයකට ගෙනයාමට සමත්කම් දක්වයි. කලාවට හෝ ගීතයකට සිදුකළ හැකි ආශ්චර්යය එයයි.

වර්තමාන ගී සාහිත්‍යය දෙස අවධානය යොමු කිරීමේදී එවන් ආශ්චර්යයක් දැකගත හැකිවන්නේදැයි සැක සිතෙන කරමටම ගීතය නම් වූ ගී කලාව පිරිහී තිබෙන බව මාගේ හැීමයි. බැලූ බැලූ අත ගීත ගායනා ඇසේ. නමුත් බොහෝ ඒවා නිස්සාර ගී පමණය. නමුත් උසස් යැයි රසවින්දනයක් ගෙනඑන ගීතද මේ අතර නැත්තේද නොවේ. වර්තමාන ගීතය වාණිජත්වය නම් සංකල්පය හමුවේ බාල මාධ්‍යයක් බවට පත්වූ ඇති බව කිව යුතුය. වාණිජ අරමුණු ඉටුකර ගැනීම හා ජනප්‍රියත්වය නම් පටු අරමුණු හමුවේ ගීතයේ අරුත්බර රසාලිප්තභාවය පහළ මට්ටමකට පත්වී ඇත. නූතන ගීවල නාදමාලාවන් ඉතා ආකර්ශනීය ස්වභාවයක් ගනී. නමුත් ගීවල අරුත්බරභාවයක් නම් දැකගැනීම දුෂ්කරය. පෙම්වතා හැරයාමේ විරහ වේදනාව, ප්‍රේමය යනාදී සියලු භාවයන් අපූර්ව අයුරින් ඉදිරිපත් කිරීමට ගායකයා සමත්විය යුතුය. එපමණක් නොව ගී පද රචනයද ඒ හා සමාන විය යුතුමය. යුගයේ අවාසනාවටදෝ අද වන විට එවන් සුන්දර ගී සාහිත්‍යයක් අප සමාජය තුළින් දැකගත නොහැක. යම් පද මාලාවක් කෙලෙසින් හෝ ගැටගසා එය ජනප්‍රිය කරගැනීම මූලික වී ඇති අතර ඊට සමාන රසිකත්වයක්ද සමාජය තුළ ගොඩනැගී ඇත. රසවින්දනය මුදලට විකිණෙන තත්ත්වයකට පත්වීම නම් සැබවින්ම යුගයේ අවාසනාවකි. තරුණ පරපුර නූතන ගීතය හමුවේ ආනන්දයෙන් ප්‍රඥාවට යනු විනා මෝහයට පත්වෙමින් මංමුළා වී කටයුතු කිරීම සමස්ත ජාතියේ ඉරණම පෙන්නුම් කරන කලු එළියකි. මෙකී අවාසනාවන්ත තත්ත්වයෙන් යළි උසස් රසවින්දනයක් කරා මෙහෙයවීමට හැකියාව ඇත්තේද ගීත සාහිත්‍යයටම බව මෙහිදී මතක් කළ යුතුමය.


Wednesday, May 9, 2018

තාරුණ්‍යයේ නෙක රටා මවන විලාසිතා

          තාරුණ්‍යයේ නෙක රටා මවන විලාසිතා

අප ජීවත්වන ලෝකය අප හුස්ම ගැනීමේ වේගයටත් වඩා සීඝ්‍රයෙන් වෙනස් වේ. මිනිත්තුවෙන් මිනිත්තුව, තත්පරයෙන් තත්පරය ඇසිපිය හෙලන සැණින් වෙනස්වන ලෝකයට අනුරූපව අප ජීවිත ද ක්‍ෂ්ණයකින් වෙනස් වේ. එම ජීවිත අතර තාරුණ්‍යය යනු ජීවිතයේ සොඳුරු කාල සීමාවකි. එකී සුන්දර තාරුණ්‍යය හැඩ කරන්නට අද ලෝකයේ විවිධ විලාසිතා නිර්මාණය වේ. මෙම ලිපිය ලියන මොහොත වනවිටත්, ඔබ මෙම ලිපිය කියවන මොහොත වන විටත් නොයෙක් මාදිලියේ නව විලාසිතා රටාවන් ලෝකය තුළ නිර්මාණය වේ. විලාසිතාව වූ කලී නව මානව සිතිවිල්ලකි. එම සිතිවිල්ලට අනුව නව මානයන්, නව දැක්මන් ලෝකයට දායාද වන්නේ අපූර්ව ආකාරයටය. ශරීරය හැඩ කරන ඕනෑම පළඳනාවක්, ඇඳුමක්, ආයිත්තමක් විලාසිතාවක් විය හැකිය. නොඑසේ නම් අප ජීවත්වන ආකාරය, ජීවන රටාව එක් එක් තාරුණ්‍යයට ආවේණිකව අනන්‍ය විය හැකිය.

අතීතයේදී වර්තමානයේ මෙන් නව විලාසිතාවන් තිබුණේ නැත. අතීත ජනයාට අවශ්‍ය වූයේ ශරීරය ආවරණය කරගැනීමට හා සතුරන්ගෙන් ආරක්ෂා වීම පමණි. නමුත් අද්‍යතන සමාජය තුළ ඇඳුම පැළඳුම වූ කලී තම සමාජ මට්ටම, රැකියාව, රූ සපුව අන්‍යයන් ඉදිරියේ ප්‍රදර්ශනය කරවන පුද්ගල සමාජ ආභරණයක් වන තරමටම ප්‍රබල වී ඇති බව රහසක් නොවේ. තාරුණ්‍යය ඒ තරමටම මෙම නව විලාසිතාවන් වැළඳ ගැනීමට කැමැත්තක් දක්වන්නේ සිය ජීවන අවධියේ කෙළිලොල්බව, අත්හදා බැලීම් කිරීමට ආකර්ෂණයක් දැක්වීම සහ කැපී පෙනීම සඳහාය.

නූතනයේ කරුණ තරුණියෝ බොහෝ විට තම කේශ කලාපය වර්ණ ගැන්වීම, හිසකෙස් curl කිරීම, Rebonding කිරීම යනාදිය සිදු කරති. නොඑසේ නම් දිගට වවා තිබුණු සුන්දර කේශ කලාපය තට්ටු වශයෙන් කොටට කපා එයට Layer කරනවා යැයි පවසති. කොණ්ඩය  ඛ්හැර කිරීම නූතන තරුණියන්ගේ විලාසිතාව බවට පත්ව තිබේ. තරුණයන්ද නොයෙක් ආකාරයේ කොණ්ඩ විලාසිතාවන් භාවිත කිරීමට යොමු වී ඇති බව පෙනේ.

තරුණයන් මෙන්ම කලාතුරකින් තරුණියන් ද ශරීරයේ පච්ච කෙටීම අද වනවිට නූතන තාරුණ්‍යය වැළඳගත් විලාසිතාවක් බවට පත් වී හමාරය. අතීත ගෝත්‍රික සමාජවල ගෝත්‍රික පිරිස් පච්ච නැතහොත් Tatoos භාවිත  කළේ විලි වසා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් හා ආරක්ෂණ උපක්‍රමයක් වශයෙනි. අද එය විලාසිතාවක් බවට පත්ව ඇත. මෙයින් හැඟී යන දෘශ්‍යමාන සත්‍යය නම් පෙර පැවති කිසියම් හෝ දෙයක් නව මුහුණුවරකින් යළිත් ලෝකයේ නව ප්‍රවණතාවක් බවට පත්වන බවයි.

කෙසේ වෙතත් වත්මන් තාරුණ්‍යයේ විලාසිතා පිළිබඳව නම් ඇතැම් දෙමාපියන්, වැඩිහිටියන් වැඩි කැමැත්තක් දක්වන බවක් නොපෙනේ. ඔවුන්ගේ මතයට අනුව මෙම නව විලාසිතා භාවිත කරන තරුණිය සක්කරවට්ටමකි. නැතහොත් මල කෝලමකි. එය ඔවුන් හැදී වැඩී ආ සමාජ පරිසරය තුළින් ඔවුන් ලබාගත් ජීවන පන්නරය මත පවසන දෙයකි. මෙලොව සියල්ලෝම හැඩට සිටින්නට කැමැත්තක් දක්වති. එය හුදෙක් තමාගේ සමාජ මට්ටම ප්‍රදර්ශනය කිරීම සඳහා විය හැකිය. නැතහොත් සමාජ ආකර්ෂණය තමා වෙත ලබා ගැනීම සඳහා විය හැකිය.

ජනමාධ්‍ය තුළින් නව විලාසිතා හඳුන්වා ගැනීමෙහිලා ප්‍රබල කාර්යභාරයක් සිදු කරන බව පෙනේ. එම විද්‍යුත් මාධ්‍යවලින් ප්‍රචාරය වන ඇතැම් ටෙලිනාට්‍ය මෙම නව විලාසිතා තාරුණ්‍යයට හඳුන්වා දීමෙහිලා ප්‍රබල දායකත්වයක් සපයයි. නිදසුනක් ලෙස සුජාත දියණිනම් වූ කොරියන් ටෙලිනාට්‍ය විකාශය වූ සමයේ තරුණියන් තුළ චංගුමී හිස පළඳනාව එම යුගයේ කාන්තා විලාසිතාව බවට පත්වීම දැක්විය හැකිය.

තාරුණ්‍යය යනු විප්ලවවාදී ලෙස චර්යාවෙහි ප්‍රබල පෙරළියක් සිදුවන පෙරළිකාරී ජීවන අවධියකි. තවද කෙළිලොල් හැඟීම්වලින් යුතු නව අදහස් ජනිත කරවන, නව අත්හදා බැලීම් වෙත යොමුවීමට කැමැත්තක් දක්වන අවධියකි. එනිසා නව විලාසිතා තම ජීවිතයට එක් කර ගැනීමෙහි කිසිදු වරදක් නැත. එයින් විනිර්මුක්ත වී සිටීම ද අසාමාන්‍යතාවයකි. නමුත් එම විලාසිතා ජීවිතවලට එක්කර ගන්නා විට ඒ පිළිබඳ යම් දැනුවත්භාවයක් හෝ  සීමාවක් යම් පමණකට තමාට තිබීම ඉතා වැදගත් වේයැයි කිව හැකි වන්නේ නූතන තරුණ විලාසිතා නොයෙක් සමාජ ගැටලු ඇති කරවන්නේ යැයි සමාජයේ මතයක් පවතින නිසාය.

විශේෂයෙන්ම ඉතා කෙටි වූත්, ශරීරය වැඩි වශයෙන් නිරාවරණය වන්නා වූත් ස්ත්‍රී ඇඳුම් පැළඳුම් මඟින් කාමාතුරයන්ගේ හැඟීම් පුබුදුවා ස්ත්‍රී දූෂණ හෝ වෙනත් සමාජ ගැටලු ඇතිවන බවට සමාජයේ මතයක් පවතී. එය සත්‍යයක් වුවත් අසත්‍යයක් වුවත් ශ්‍රී ලංකාව වැනි ආවෘත සංස්කෘතියක් පවතින රටකට එවැනි ආකාරයේ විලාසිතා එක්වරම ආදේශ කරගැනීමේ ගැටලුවක් පවතින බව නම් අවිවාදිත කරුණකි.

ඒ කෙසේ වුවත් නූතන සමාජ පරිණාමයට අනුව නැතහොත් තාරුණ්‍යයේ භාෂාවෙන් කිවහොත් ලෝකය කැරකෙන ආකාරයට අපට ද වෙනස් වීමට සිදුව තිබේ. එනිසා තාරුණ්‍යයේ රූ සොබාව වැඩි දියුණු කරවන විලාසිතාවන් තම රටට, සංස්කෘතියට ගැලපෙන පරිදි සකස් කරගෙන භාවිත කිරීමට උත්සුක වන්නේ නම් සමාජය තුළ එවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවේ. නූතන තාරුණ්‍යය විමසන ආකාරයට මේ කාලයට Fashion කරන්නේ නැතිනම් වැඩක් තිබේද? ’ යන පැනය සමාජය වෙත යොමු වේ. ඊට හේතුව වන්නේ තරුණ අවධිය විවාහ බැඳම්වලින් තොර, සැහැල්ලු, විනෝදකාමී ජීවන අවධියක් වන හෙයිනි. තරුණ තරුණියන් මව්වරු, පියවරු වූ විට පසු තමන්ට අවශ්‍ය ආකාරයේ ඕනැම විලාසිතාවක් සිදු කිරීමට විවිධ බැඳීම් නිසා යම් ආකාරයක සීමා මායිම් ඇතිවේ. තාරුණ්‍යයේ එම මතය නිවැරදි වේ යැයි පැවසීම සාධාරණය. මේ අනුව තාරුණ්‍යයෙන් තොර තාරුණ්‍යයකින් ඵලක් නොවේ. නූතන සමාජය තුළ නව විලාසිතාවන් තම රටට, සංස්කෘතියට සුදුසු අයුරින් පමණක් නොව එය තමාගේ රූ සපුවට කොතරම් උචිත වේදැයි යන්න වරක් දෙවරක් නොව සියවරක් වුව ද නුවණින් විමසා බලා භාවිතයට ගැනීම කාලෝචිත මෙන්ම නුවණක්කාර බව කිව යුතුය.
                                                                           

                                                            

Monday, May 15, 2017




දුර ගමනක් යා යුතුයි


රිදෙන පා යුග
හෙමින් ඔසවා
යනෙ'න දුක්ගිනි

නෙතින් උහුලා
මව්පිය සොහොයුරු

පැතුමන් වැඳලා
සිහිනය වෙත මා
යන්නෙමි මතුදා ...