Monday, September 30, 2019




ආදරණීය දරුවනි... සෑම දිනයක් ම ඔබ වෙනුවෙනි..

රටක පරහැබර අනාගතය ළමා සම්පත වේ. මවකට, පියෙකුට තම දරුවා මිල කළ නොහැකි සම්පතක් මෙන්ම ඕනෑම රටකට එම දරුවා අමිල සම්පතක් වනු ඇත. දසමසක් කුසේ දරා සිට මෙලොවට බිහි කරන රන්කැටියාගෙන් පවුලක් මෙන්ම රටක් බලාපොරොත්තු වන දෑ බොහෝ ය. ක්‍රමයෙන් වයසෙන් වැඩෙත්ම එම දරුවා පිළිබදව ඇති කරගන්නා අපේක්ෂාවන් ද දෙමාපියන් තුළ බොහෝය.

රටක සංවර්ධනය හා අනාගත පැතුම් සියල්ල ළමා සම්පත වෙත පැවරෙන්නේ ඉදිරි අනාගතයෙහි රටෙහි ප්‍රධාන මෙහෙයුම් හස්තය බවට පත්වන්නේ වත්මන් ළමා පරපුර නිසා ය. ඒ කෙසේ වෙතත් ළමා සම්පතෙන් මතුවට අපේක්ෂා කරන ඵලදායී අරමුණු සාක්ෂාත් කරගැනීමට නම් රටක් ජාතියක් වශයෙන් සියලු දෙනාම ඔවුන්ගේ වර්තමාන දිවියෙහි ඵලදායීත්වය සංවර්ධනය කිරීම සදහා කැපවිය යුතු ය. ඊට හේතුව වන්නේ වඩා ඵලදායී මානසික හා කායික සෞඛ්‍යයකින් යුතු නිරෝගී ළමා සම්පත ඉදිරි අනාගතය සදහා බලපෑම්කාරී වන බැවිනි. සෑම වසරක් පාසා ම ළමා සම්පත ඒකරාශී කරගෙන ඔක්තොම්බර් 01වන දින ලෝක ළමා දිනය ලෙස මහත් අසිරියකින් සමරනු ලබන්නේ ළමා සම්පත වෙනුවෙන්ම  වෙන්කරගත් සුවිශේෂී දිනයක් ලෙස එය සලකන බැවිනි.


ළමා ප්‍රචණ්ඩත්වය, ළමා හිංසනය, ළමා අයිතිවාසිකම් පිළිබද ව විද්‍යුත් මාධ්‍යයන් හා මුද්‍රිත මාධ්‍යයන් තුළින් මහත් ඉහළින් සාකච්ඡාවට ලක් කරන්නේ එම සුවිශේෂී දිනය ළමා සම්පත වෙනුවෙන් වෙන්කර ඇති නිසා ය. නමුත් රටක අනාගතය ලෙස සලකන ළමා සම්පත පිළිබද ව එක් සුවිශේෂී දිනයකට පමණක් සීමාකොට සාකච්ඡා හා විවාද කළ යුතු නොවේ.

වර්ෂයේ සෑම දිනයක්ම ළමා පරපුරේ දිනයක් විය යුතු තරමට කටයුතු සම්පාදනය කිරීම පාලක පන්තියේ හා වැඩිහිටි පාර්ශවයේ වගකීමක් වනු ඇත. එක් දිනකට පමණක් ළමා සම්පතෙහි අගය පිළිබදව සාකච්ඡාවට ලක්කිරීම වෙනුවට වැඩිහිටියන් ලෙස සෑම ජාතියක් විසින් ම ළමා සම්පත පිළිබද ව වැඩි අවධානයකින් හා අවබෝධයකින් කටයුතු කළයුතු අවධියක අප ජිවත්වීම මීට හේතුවයි. ළමා පරපරෙහි උද්‍යෝගීමත්භාවය හා සතුට වෙනුවෙන් දින දර්ශනය තුළ එක් දිනයක් වෙන් කළාට වරදක් නැත. නමුත් එහිදී එම දිනය ළමුන්ගේ කාර්යබහුල දෙමාපිය දින චර්යාව හා ජීවන කටයුතු න්‍යාය පත්‍රය තුළ ද දරුවන් වෙනුවෙන් ඉඩකඩක් වෙන් කරන්නට සමත් වන්නේ නම් එවැනි සුවිශේෂී දිනයක් ළමයින්  සදහා වෙන් කිරීමෙහි ඵලදායීභාවයක් පවතී. නොඑසේ නම් සිදුවන්නේ කාර්යබහුල දෙමාපිය දින චර්යාව තුළ එම දිනය නිවසේ වැඩ කටයුතු සිදුකරගැනීම සදහා අවකාශය වෙන්කරගැනීමයි. අද සමාජය තුළ බොහෝ විට සිදුවන්නේ එවැනි කටයුත්තක් සදහා එවැනි දිනයක් දෙමාපියන් විසින් වෙන් කරගැනීම නොවේ ද යන්න විමසා බැලිය යුතු ය.

ළමා සිත් වැඩිහිටි සිත් මෙන් කිලිටි නැත. මලක් මෙන් පවිත්‍රය. එනිසා එම සිත් කුඩා දේකින් වුව ද සතුටට පත්කළ හැකි ය. එනිසා ළමා සිත් සුවපත් කිරීමේ හැකියාව ඇත්තේ වැඩිහිටි පාර්ශවය වෙත ය. මෙලොව සිටින සෑම දෙමාපියෙක්ම හා වැඩිහිටියෙක්ම පාහේ වර්තමාන ලෝක ගමන්රටාව හා ජීවන ක්‍රමය සමග අනවරත අරගලයක නිරත වී සිටින බව සියල්ලන්වම දෘශ්‍යමාන වන සත්‍යයි. රැකියාව හා ජීවන කටයුතු සමග කාර්යබහුල ජීවිතයකට යොමුව ඇත්තේ ද තම දරුවන්ගේ අනාගතය සුඛිතමුදිත තත්ත්වයකට පත්කිරීමේ එකම අරමුණෙනි. නමුත් එම අරමුණ සමග කාර්යබහුල ජීවිතයකට ඔවුන් අවතීර්ණ වීම නිසාම තම දරුවන් දෙමාපියන්ටත් නොදැනීම ඔවුන්ගෙන් ඈත්වන බව බොහෝ දෙමාපියන්ට අනවබෝධ වන කරුණකි. ළමා සිත් සතුටු කිරීම සදහා දෙමාපියන් ලෙස විශාල දේ කිරීමට අව්‍යශ නොවේ. ඉතා සුළු දෙයකින් වුව ද ළමා සිත තෘප්තිමත් කිරීමේ අවකාශය දෙමාපියන්ට හිමිවේ. බොහෝ දෙමාපියන් අවබෝධ කරනොගන්නා සත්‍යය ද එයයි.

දරුවන් සදහා දෙමාපියන්ගේ කාලයෙන් කොටසක් වෙන් කිරීම, සොබාදහම ඇසුරු කිරීමට ඔවුන්ට අවස්ථාව දීම, දරුවන් හා ආගමික කටයුතුවලට සම්බන්ධ වීම, විනෝදාත්මක කටයුතුවල සතියකට වරක් හෝ නියැලීම, උත්සව අවස්ථාවලට සම්බන්ධ වීම, දරුවන් හා ආදරයෙන් කතාබහ කිරීම,  ළමයින්ගේ දක්ෂතා ඇගයීම හා දරුවන්ගේ යහපත් පුරුදු හා ක්‍රියාකාරකම් ඇගයීම, ප්‍රශංසාවට ලක්කිරීම සදහා ඔක්තොම්බර් 01වන දිනම වෙන්කර ගැනීම අවශ්‍ය නැත. දෙමාපියන්ට මෙන්ම වැඩිහිටි පාර්ශවයට මෙන්ම පාලක පන්තියට වසරේ සෑම දිනයක්ම ළමා දිනයක් ලෙස සැලකිය හැකිවිය යුතු ය. එම සෑම දිනයක්ම ළමයින්ගේ අභිවෘද්ධිය හා පැවැත්ම සදහා කටයුතු කළ යුතු ය.

වත්මන් ලෝකය තාක්ෂණය සමග ඉදිරියට ගමන් කරන බව සෑම දෙනාම දන්නා කරුණකි. එසේම ළමා පරපුර ද තාක්ෂණය සමග සමීප සම්බන්ධතාවක් ගොඩනගාගෙන පවතී. සෑම දෙමාපියෙකුගේ ම අරමුණ තම දරුවන්ට හොදම දේ ලබාදීම වන නිසා තාක්ෂණික ලෝකයේ ළමා ක්‍රියාකාරකම් සදහා තාක්ෂණය ඇසුරු කිරීමට අවස්ථාව නොපැකිලිව ඔවුන්ට ලබාදෙන්නේ ඒ නිසා ය. එහි කිසිදු වරදක් නැත. නමුත් එය නිවැරදි කළ නොහැකි වරදක් වන්නේ තාක්ෂණය සමග දරුවන් දක්වන අසීමිත සම්බන්ධතාවෙහි නිදහස උපරිම අයුරින් භුක්ති විදීමට ඔවුන්ට අවස්ථාව ලබාදීම සහ එවැනි ක්‍රියාකාරකම් පිළිබද ව විමසිලිමත්භාවයක් දෙමාපියන් හා වැඩිහිටියන් විසින් නොදැක්වූ විටදී ය. එනිසා එවැනි සම්බන්ධතාවලදී ළමයා කෙරෙහි දැඩි විමසිලිමත්භාවයකින් කටයුතු කිරීම තවදුරටත් වැදගත් වන්නේ තාක්ෂණයෙහි වහලෙකු බවට පත්වෙමින් දරුවාගේ අනාගතය තාක්ෂණය නිසාම මුකුලිතභාවයට පත්වීමේ වැඩි ඉඩකඩක් වත්මන් සමාජය තුළ පවතින නිසා ය. ළමා පරපුරට නිසි මගපෙන්වීම, රැකවරණය හා උපදේශනය සැලසීම වැදගත් වන්නේ මෙනිසා ය. වසරේ සෑම දිනයක්ම ළමයින්ගේ දිනයක් ලෙස සලකා ළමයින් කෙරෙහි නිසි අවබෝධයෙන් හා විමසිලිමත්භාවයකින් කටයුතු කරන්නේ නම් වත්මන් සමාජයෙහි පැනනගින බොහෝ ගැටලුවලට විසදුම් ලැබෙනු ඇත.

එමෙන්ම ළමයා නිසි පරිදි සමාජගත කිරීමේ වගකීම ගුරුවරයාට, පාසලට හා ආගමික සංස්ථාවලට හිමිවේය යන ඇතැම් වැඩිහිටියන් තුළ පවතින  සාවද්‍ය මතය සමාජය තුළින් බැහැර කළ යුතු කාලය පැමිණ තිබේ. මන්දයත් ළමයා පළමුවරට සමාජානුයෝජනය වන්නේ පවුලෙන් ලබන ආභාසය තුළිනි. එනිසා කුඩාකල සිට ම ළමයා නිවැරදි අයුරින් සමාජගත කිරීමේ සම්පූර්ණ වගකීම පළමුවරට හිමිවන්නේ පවුලට නිසා පවුල තුළින් ලබන ශික්ෂණය ඕනෑම ළමයෙකුගේ අනාගත දිවියෙහි පැවැත්ම සදහා මූලික අඩිතාලම සපයන බව සිහිතබා ගැනීම වැදගත් වනු ඇත. මෙහිලා ජනමාධ්‍ය හා නවමාධ්‍යයන්ගේ ක්‍රියාකාරකම් ද ප්‍රබල බලපෑමක් ඇති කරයි.
ළමා පරපුර පිළිබද ව අතිශයෝක්තියකින් යුතුව එක් සුවිශේෂී දිනයක දී සාකච්ඡාවට ලක්කළත් අනිකුත් සෑම දිනයකදී ම ඇතැම් ළමුන් විවිධ අඩන්තේට්ටම් හා ළමා හිංසනයට හෝ ළමා අපචාරවලට ලක්වන බව බොහෝ මාධ්‍ය වාර්තාකරණයන්ගෙන් සනාථ වේ. ඒ වාර්තාවන සිදුවීම් පමණකි. මෙලෙස කිසිදු අයුරකින් හෝ හෙළි නොවන එවැනි සිදුවීම් මෙම මිහිතලය මත කොපමණ අත්දැයි නුවණින් විමසා බැලිය යුතු ය.  දෙමාපිය රැකවරණය අහිමිව නිවස තුළ තනිව සිටින ඇතැම් ළමුන් විවිධ පුද්ගලයින් වෙතින් විවිධ අපචාරයන්ට හා අතවරයන්ට ගැහැනු පිරිමිභේදයකින් තොරව මුහුණපෑම යුගයේ ඛේදනීය තත්ත්වයකි. තම දරුවන්ගේ සතුට වෙනුවෙන් තමන් උපරිමයෙන් කැපවන බව බාහිර ලෝකයට පෙන්වුව ද සැබවින් ම තම දරුවාගේ සතුට ඔහුට නිසි ලෙස ලැබෙනවාද යන්න සෑම පාර්ශවයක් විසින් ම වරක් නොව සියවරක් වුව ද සිතා බැලිය යුතු කරුණකි.

ගෘහස්ථව දරුවන්ට අමානුෂික ලෙස හිරිහැර කරමින් තම කටයුතු ඉටුකරගන්නා ඇතැම් දෙමාපියන් හා වැඩිහිටියන් සමාජය තුළ සිටින බව සමාජය දෙස බැලීමේ දී තහවුරු වේ. එවැනි දෙමාපියන් සැබවින් ම දෙමාපියන් යන නාමය දැරීමට සුදුසු ද යන්න සිතා බැලිය යුතු ය. තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ගෙදර බුදුන් ලෙස හදුන්වා ඇති මව සහ පියාගේ උත්තරීතරභාවය නාමයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද සපථ කොට පෙන්විය යුතු ය.

නිවසේ දී පමණක් නොව මහමග, ප්‍රවාහන සේවය, පොදු ස්ථාන යන කවර ස්ථානයක දී වුවත් ළමා පරපුර වෙනුවෙන් තමා‍ගේ දරුවන් ලෙස සලකා ආදරය හා රැකවරණය ලබාදමට සෑම මවක්ම, පියෙක් ම හා වැඩිහිටියෙක් ම කටයුතු කළ යුතු ය. ළමා පරපුරට හිමිවිය යුතු අයිතිවාසිකම් හා නිදහස්බව භුක්ති විදීමට ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු අතර එහිදී දෙමාපියන් හා වැඩිහිටියන් ලෙස ඔවුන් පිළිබද ව විමසිලිමත්භාවයකින් කටයුතු කරනු විනා අසීමිත සීමා පැනවීම් හා සිර කිරීම් සිදුනොකිරීමට වගබලාගත යුතු ය. තව ද ළමා ලෝකයේ සුන්දරත්වය නිසි පරිදි විද ගැනීමට ඔවුන්ට අවකාශය සැලසීම සෑම පාර්ශවයක ම වගකීම වන අතර එහිදී නිසි අවධානයකින් කටයුතු කිරම මතු අභිවෘද්ධිය සදහා අවශ්‍ය වේ. ළමා පරපුර යහපත් වූත් සමබර වූත් මානසික හා කායික සෞඛ්‍යයකින් පරිපූර්ණ කිරීම සදහා ගත හැකි සෑම පියවරක් ම ගැනීම වැදගත් වේ. අනාගත ලෝකය ජය ගැනීමට සිටින ළමා කැකුළුවල මතු දියුණුව උදෙසා ඔක්තොම්බර් 01වන දින පමණක් නොව වසරේ සෑම දිනයක් ම වෙන්කරගැනීම වැඩිහිටි කාගේත් වගකීමක් බව සිහි තබාගත යුුතු ය.


Tuesday, July 30, 2019

සයිමන් නවගත්තේගම හා ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’ නවකතාව

සයිමන් නවගත්තේගම හා ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’ නවකතාව

විටෙක ඔහු නවකතාකරුවෙකි. තවත් විටෙක කෙටිකතාකරුවෙකි. තව විටෙක ග්‍රන්ථ පරිවර්ථකයෙකුද , විටෙක තිරනාටක රචකයෙකුද, විචාරකයෙකුද  වෙමින් සිය නිර්මාණ කෞශල්‍යයන් විවිධ වේශයන්ගෙන් නිරූපණය කිරීමට සමත් වූ වාසනාවන්ත වූත්, ප්‍රතිභාසම්පන්න වූත් නිර්මාණකරුවෙකි. “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත”යන මතයට අභියෝගයක්  වෙමින් ලොවෙන් එකෙක්  ‍‍‍‍‍‍‍බොහෝ දෙයකට සමත් බව ක්‍රියාවෙන්ම හෙළි කළ ආදර්ශවත් චරිතයකි. සිංහල සාහිත්‍යයේ දඩයක්කාරයා වෙමින් ඔහු සපථ කළ නිර්මාණ කෞශල්‍යය ප්‍රශංසනීය වේ. මේ  වෑයම එකී දඩයක්කාරයා විචාරයට හසු කරගැනීම සඳහාය. ඒ අන් කිසිවෙකු නොව නමින් සයිමන් නවගත්තේගමයන්ය.

  • නම - සයිමන් නවගත්තේගම
  • මුල් නම - හීන් මහත්තයා
  • උපන්දිනය - 1940 සැප්තැම්බර් 15 
  • මවගේ නම - පුංචි
  • පියාගේ නම - ආර්- නවගත්තේගම
  • උපන් ගම - අනුරාධපුරයේ කුමාරවන්නි හත්පත්තුවේ නවගත්තේගම ග්‍රාමය
  • පාසල් අධ්‍යාපනය - නවගත්තේගම මිශ්‍ර පාසල,    මහව මහා විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය  
  • උසස් අධ්‍යාපනය - පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පසු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධිය ලැබුවේය.
  • වෘත්තීය ජීවිතය - ඇත්ත පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙකි. ජන උදා කාර්යාලයේ නිලධාරියෙකු ලෙස  සේවය කළේය.
  • බිරිඳගේ නම - මල්ලිකා කුලරත්න නවගත්තේගම   

සයිමන් නවගත්තේගමයන්ගේ නිර්මාණ අන් නිර්මාණකරුවන්ගෙන් විශේෂ වූවකි. ඔහුගේ නිර්මාණ සමස්තයක් දෙස බැලීමේදී පෙනීයන සුවිශේෂීතාවයක් වන්නේ ස්වකීය ජීවන තක්සලාවෙන් සපයාගත් බොහෝ වස්තුවිෂයන්වලින් එම නිර්මාණ පෝෂණය වී ඇති බවයි- මේ සඳහා ඔහුගේ නවකතා වන,

සංසාරාරණ්‍යය අසබඩ

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

දඩයක්කාරයාගේ කතාව

යන බොහෝ නිර්මාණ මනා නිදර්ශනයන් සපයයි. සයිමන් නවගත්තේගමයන්ගේ පියා දක්ෂ දඩයක්කාරයෙකු හා අඳ ගොවියෙකි. සිය පියාගේ වෘත්තීය අත්දැකීම් ද, තම පියාගේ මිතුරෙකු වූ අලියාවැටුණුවැව ආදායම්පාලක නිලධාරී විමලරත්න කුමාරගම මහතා තම ගුරුවරයෙකු වූ අවුලේගම සේනාධීර කවියා හා සිය මව කියාදුන් යශෝධරාවතේ කවිත් තම නිර්මාණාත්මක ආභාසය හැඩගස්වා ගැනීමට ඉමහත් අස්වැසිල්ලක් වූ බව ඔහු වරෙක පවසා ඇත.

ඔහුගේ නිර්මාණ බෙහෝමයකට පසුබිම් වූයේ ඔහුගේ ළමාවිය ගතවූ අනුරාධපුරයේ කුමාරවන්නි හත්පත්තුවේ නවගත්තේගම ග්‍රාමයයි. ඔහු නිරන්තරයෙන් බුද්ධියණි ප්‍රඥාව හා ශුන්‍යත්වය පිලිබඳව සිය නිර්මාණයන්ට හසු කරගැනීමට උත්සාහ දැරූ බව පෙනී යන කරුණකි. එසේම ඔහු සමාජය පිළිබඳව මිත්‍යාවන්, ලාංකේය ජන විඥාණයේ සංකීර්ණත්වය පිළිබඳ පවතින මහා දැනුම් සම්භාරය යනාදී ප්‍රස්තුතයන් හා අවබෝධයන් බුදුදහමේ ඉගැන්වීම් තුළින් මෙන්ම විටෙක මනෝවිද්‍යාවේ ගැඹුරු මූලධර්මයන් සමඟ කලතා ඉදිරිපත් කිරීමට තරම් ඔහු තුළ තිබූ සූක්ෂ්මතාවය ඔහුගේ නිර්මාණ තුළින් මැනවින් දෘශ්‍යමාන වේ. 

තවද ඔහුගේ සෑම නිර්මාණයකම සංදිග්ධතා ගුණය හෙවත් බහු අරුත් දනවන සුළු දැකගත හැකිය. සාමාන්‍යයෙන් කලා කෘතියක බහුමානික ගුණය එම නිර්මාණයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට සමත් වන බව අමුතුවෙන් කිව යුතු නැත. සයිමන් නවගත්තේගමයන්ගේ නිර්මාණ තුළ එකී ගුණය දැකගත හැකිය. 

එමෙන්ම මෙම නිර්මාණකරුවා සැබෑ ලෝකය එලෙසින්ම ඉදිරිපත් කිරීමේ වාර්තා ගුණය සිය නිර්මාණයන් තුළ කිසිවිටෙකත් යොදානොගන්නා ප්‍රතිභාසම්පන්න ලේඛකයෙකි. ඔහු නිරායාසයෙන්ම නිර්මාණයක පැවතිය යුතු නිර්මාණාත්මක ගුණය ආරක්ෂා කරගැනීමේ උත්සාහයක යොමුවන බව පෙනීයයි. විශේෂයෙන්ම යථාර්ථවාදයණි අධි යථාර්ථවාදයණි ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, ශුන්‍යවාදී ස්වරූපයන් නවගත්තේගමයන්ගේ නිර්මාණයන්හි සුවිශේෂීත්වය තීව්‍ර කිරීමට හේතු සාධකයන් වනු පෙනේ. වරෙක ඔහුගේ මෙම නිර්මාණ සුවිශේෂීත්වය පිළිබඳව ඔහු පවසා ඇත්තේය.

‘මං දන්න ඉන්ද්‍රජාලිකයෙකු නැහැ ඕයි. මට දැනෙන දේ මට හිතෙන විදිහට ලියනව. මං ලියන්නෙ විනෝදෙට’ යනුවෙනි. 

ඔහුගේ පෞද්ගලික ජීවිතයෙහි ඔහු හැසිරෙන්නේද විනෝදමත් පුද්ගලයෙකු ලෙසිනි. අධික දුම් පානය කරන ඔහු නිරන්තරයෙන් අලුත් දේ රචනා කිරීමට උනන්දුවක් දැක්වූ කෙනෙකි. කෙසේ වෙතත් සයිමන් නවගත්තේගමයන්ගේ නිර්මාණයන් තේරුම් ගැනීමට ඉතා අපහසු බව ඇතැම් විචාරකයින් අදහස් පළ කළ ද අදටත් ඔහුගේ නිර්මාණවල සුවිශේෂී ගුණයන් ඔහුගේ නිර්මාණවල උසස් මට්ටම තවත් තීව්‍ර කරන බව කිව හැකිය.

‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’ නවකතාවේ පොදු නිර්මාණාත්මක   ලක්ෂණ

‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’ නම් වූ නවකතාව සයිමන් නවගත්තේගම විසින් රචිත ඉතා අපූර්ව වූත්, චමත්කාරජනක වූත් නවකතාවකි. ඔහු සිය නිර්මාණය සඳහා පාදක කොටගත්තා වූ කුමාරවන්නි හත්පත්තුවේ මහා වනාන්තරය හා මිනිසා අතර පවතින සදාතනික වූ සම්බන්ධතාවය පිළිබඳව සිත්ගන්නා සුළු භාෂා රටාවකින් පාඨකයා හමුවට ගෙන එන්නේ පාඨකයා සතු නිම්වලලු පුළුල් කරමිනි.

නවකතාවක් වන මෙම නිර්මාණයේ නිර්මාණාත්මක ගුණය පිළිබඳව සලකා බලන විට අංග කීපයක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය. එනම්, 

01) අත්දැකීම හෙවත් වස්තුවිෂය

02) භාෂා රටාව

03) සංකල්ප රූප මැවීම

04) යටිපෙළ

ජීවිතය වනාහී අවුල් ජාලාවකි. එහි ඇතුළත මෙන්ම පිටතද දෘශ්‍යමාන වන්නේ ගිනිදැල්ය. ‘අන්තෝ ජටා බහි ජටා’  යනුවෙන් බුදුදහමේ ඉදිරිපත් කර ඇත්තේද මෙකී සත්‍යයයි. ජීවිතයේ මුල අග වටහගැනීම ඉතා විමසිල්ලෙන් යුතුව සිදුකිරීම වැදගත් වේ. සාහිත්‍යකරුවා හෝ නිර්මාණකරුවා සිදු කරන්නේ මෙකී ජීවිතයේ අවුල් වියවුල් විසදාගැනීමට පාඨකයින්ට අත්වැලක් ලබාදීමයි. කවියෙකු හෝ වේවා කතාකරුවෙකු වේවා මෙකී නොකී නිර්මාණකරුවෙකුට තමා මුහුණ දුන් හෝ අනුන්ගෙන් අසාවිඳගත් අත්දැකීම් හෝ සාහිත්‍ය නිර්මාණ තුළින් වින්දනය කර ලබාගත් අනන්ත අප්‍රමාණ ජීවන අත්දැකීම් සියුම් ලෙස ඉදිරිපත් කොට ප්‍රතිනිර්මාණය කරන්නේ රසික සිත්සතන් තුළ ද කම්පනයක් ඇති කරවීමටය.

සයිමන් නවගත්තේගමයන්ගේ ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’ නම් වූ නවකතාව සඳහා පාදක වන්නේ ඔහු සිය කුඩා කල ගතකළ අනුරාධපුර කුමාරවන්නි හත්පත්තුවේ ග්‍රාමීය පරිසරයයි. වනාන්තරයක් තුළ දුක සැප බෙදාහදා ගන්නා භික්ෂූන් වහන්සේ නමක හා දඩයක්කාරයෙකු අතර පවතින සබැඳියාව අත්දැකීම ලෙස යොදාගෙන ඇත. ඔහුට පසුබිම් වන්නේ මහා වනාන්තරයකි. එහෙත් එය හුදු කැලෑවක් නොව සමාජීය කැලෑවකි. 

අශෝක හඳගමයන් පවසන්නේ ‘සයිමන් තමන්ගේ නිර්මාණ ඔස්සේ කතා කළ දාර්ශනික දේවල් පිටින් නොව ඔහුගේ ඇතුළතින්ම පැමිණි දෙයක් බවත්, ඔහු ලියන ලද්දේ ඔහුගේ ජීවිතයම බවත් ’ය.

මෙකී ප්‍රකාශය තවදුරටත් ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරන නවකතාවකි; ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’. ඔහුගේ නිර්මාණයන්හි හරය සමකාලීන ගමේ ජනතාවගෙන්ද, ඔහුගේ පියාගෙන් හා පියාගේ යහළුවන්ගෙන්ද, කැලෑවෙන්ද, අඳ ගොවියන්ගෙන්ද, මුඩුක්කුවේ හා සෙයිලමෙන්දු, මහා වනාන්තරයෙන්ද විඳි අත්දැකීම්  ද, සිය දැනුම හා අවබෝධය, සමාජ පරිඥානය සමඟ කලතා උරාපෙරාගත් සාරයම මිස වෙන කිසිවක් නොවේ.

සාහිත්‍යකරුවෙකුගේ නිම්වළලු තවදුරටත් පුළුල් වන්නේ ඔහු සමාජය සමඟ නිරන්තරයෙන් ගැටීම තුළින් ලබන අත්දැකීම් තුළිනි. ඔහුගේ පියා දක්ෂ දඩයක්කාරයෙකි. මෙකී නිර්මාණය සිදු කිරීමේදී සිය පියාගේ වෘත්තීය අත්දැකීම්වල ආභාසය දැඩි බලපෑමක් මෙම නිර්මාණය සඳහා ලැබෙන්නට ඇතැයි කිව හැකිය. 

ඔහු ‘සාපේක්ෂණී’ නවකතාවෙහි එන ප්‍රස්තාවනාව සඳහා ඉදිරිපත් කර ඇති මතය වන්නේ, 

’‘මගේ සියලුම නිර්මාණ සඳහා පාදක වූයේ වර්තමාන බාහිර ලෝකය හා මා හා අතර  නිරන්තරව පැවතුණා වූ, විරෝධී වූ, සුහද වූ, උපේක්ෂා සහගතවූ සබඳතා තුළින් මා තුළ ගොනු වූ අත්දැකීම් සම්භාරයයි.  මෙම අත්දැකීම් කිසියම් නිර්මාණයක් සඳහා ප්‍රතිනිර්මාණය කිරීමේදී මම දැවැන්ත වූ අනන්‍ය කල්පනා ලෝකයක හුදකලා වන්නෙමි. මෙහි අවසන් ඵලය නිර්මාණයයි.” යනුවෙනි.

පාඨකයා සාහිත්‍ය කෘතියක් කියවන්නේ තමා මින් පෙර අත්නොවිඳි අපූරු අත්දැකීමක් විඳීමේ අදහසිනි. එහි අපූර්ව ගුණයක් කැටි වී තිබීම අනිවාර්ය වේ. තවද ඕනෑම නිර්මාණයක් රසිකයා වෙත ගෙනඑන්නා වූ මාධ්‍යය වන්නේ භාෂාවයි. ශූර කුඹල්කරුවෙකු විසින් මෙලෙක් මැටි පිඬක් ගෙන එහි විවිධ හැඩ මවා මැටි භාණ්ඩ නිපදවන්නා සේ සාර්ථක නිර්මාණකරුවාද භාෂාව නැමැති අපූර්ව මෙවලමෙන් විවිධ හැඩතල මවා සිය නිර්මාණය බිහි කරන ආකාරය හඳුනාගත හැකිය.

මෙම නවකතාවේ අත්දැකීමට අනුව ගැමි වනාන්තරයක දඩයක්කරුවෙකු සම්බන්ධ කතා තේමාවක් පැවසීම සඳහා චිරන්තන සාහිත්‍යයේ භාෂාව යොදාගැනීම අනුචිතය. එනිසා නවගත්තේගමයන් ඒ සඳහා යොදාගන්නේ ගැමි වහරේ ජීව ශක්තියයි. හාමුදුරුවන්ගේ හා දඩයක්කාරයාගේ මුවට නංවන දෙබස් පණගැන්වී ඇත්තේ ගැමි වහරෙනි. එමඟින් නිර්මාණය හා රසිකයා අතර ඇති සම්බන්ධතාවය බෙහෙවින් සමීපතාවක් ඇතිකිරීමට එය හේතු වේ.

ප්‍රථම පුරුෂ දුෂ්ටිකෝණය යොදා ගනිමින් එකී ජීවන අත්දැකීම පාඨකයා හමුවට ගෙන ඒමට කතුවරයා දක්වා ඇති කුසලතාව මෙහිදී අගය කළ යුතුය. ධ්වනිථාර්ථවත් භාෂා රටාව නිසා අපූර්ව ගුණයක් එයට ඇතුළත් වී තිබේ. කතුවරයා යොදාගත් භාෂා රටාව ප්‍රධාන වශයෙන්ම,

සංවාදශීලී භාෂා රටාව

පරිසර වර්ණනා

උපමා රූපකාලංකාර බහුලබව

                              යනාදියෙන් යුක්තය.  

රසිකයාගේ ආකර්ශනශීලීත්වය කතුවරයා හා නිර්මාණය දෙස ඇති කරගැනීමට නිරායාසයෙන්ම එම ගුණය හේතු වී ඇත.

නිර්මාණය වූ කලී සැබෑ ලෝකය එලෙසින්ම ප්‍රතිනිර්මාණය කොට දැක්වීමක්ම නොවේ. රසිකයා නොසිතූ මානයක් වෙත ඔහුව ගෙනයාමට කතුවරයාට නිසඟ හැකියාවක් පැවතිය යුතුමය. නැතහොත් එය නිර්මාණයක් බවට පත් නොවේ. වාර්තාවක ප්‍රතිනිර්මාණයක් බවට පත් වේ. නිර්මාණයක පැවතිය යුතු එකී නිර්මාණාත්මක ගුණය සත්‍ය ලෙසම වටහාගත් සයිමන් නවගත්තේගමයන් සිය නිර්මාණය තුළට එකී ගුණය අන්තර්ගත කොට තිබේ.

නවකතාවේ ඇතැම් පරිච්ඡේද රසිකයා ඉන්ද්‍රජාලික ලෝකයක් වෙත ගෙන යන්නේ රසිකයාට එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳ තර්ක විතර්ක ගොඩනැගීමටවත් නොහැකි  විස්මිත ආකාරයට වීම මෙම නවකතාවේ ලක්ෂණයකි. ලේඛකයා සමාජය පිළිබඳ ප්‍රබල දෘෂ්ටියකින් යුතු වූවෙකි. ඔහුට සිය චින්තාවන් කුළුගැන්විය හැකිවන්නේ තමාගේම නිදහස් අදහස්වලට අනුවය. කතුවරයා තමා ඉදිරිපත් කළ ජීවන ප්‍රවෘත්තියෙහි අන්තර්ගත  මානුෂීය සම්බන්ධකම් සියුම් ලෙස විග්‍රහ කිරීමට සමත් වූ තරමට රසිකයාගේ කෘතිය සාර්ථක කෘතියක් බවට පත්වේය යන්න කතුවරයා තේරුම්ගෙන ඇති බව මෙකී නිර්මාණය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යයි.

ශූර සාහිත්‍යකරුවාගේ කෘතිය සමාජය හමුවේ ඇති කාව්‍යයක් වැනිය. එකී ගුණය විටෙක මෙකී නිර්මාණය තුළින් දැකගත හැකිය. මෙහි එන දඩයක්කාරයා හා හාමුදුරුවන් ඇතුළු සෙසු චරිත රසිකයින් එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කරන චරිතවලට සමානතාවක් දක්වයි. සයිමන් නවගත්තේගමයන් වාමාංශික දේශපාලනයේ යුක්ත වූ පුද්ගලයෙකි. ඔහු සතු විඥානය විටෙක සිය නිර්මාණයන් තුළින් ඉස්මතු වනු දැකගත හැකිය. කතුවරයාගේ දෘෂ්ටිය ඔහුගේ නිර්මාණයන්ට පාදක වීම නොවැළැක්විය හැකිය. 

කෙසේ වෙතත් ලෝකයේ මිනිසුන් අතර ස්ත්‍රී පුරුෂ සබඳතා, මිනිසා හා පරිසරය අතර පවතින සබඳතාව පිළිබඳව මෙකී නවකතාවේ මතුපෙළ තුළින් දෘශ්‍යමාන වුවද කතුවරයා  මෙමඟින් දක්වන අභ්‍යන්තර(යටිපෙළ) රසික ජීවිතයට උගන්වන ගැඹුරු පාඩමක් වැනිය. ජීවිතයේ සුඛ දුක්ඛයන් තනතුරු අනුව නොව මෙලොව උපදින සෑම සත්ත්වයෙකුටම විඳීමට සිදුවන බව අප දන්නා කරුණකි. නමුත් එම සීමාව අතික්‍රමණය කොට මිනිස් ජීවිතයේ සැඟවුනු ගුඪ චෛතසිකයන් විවිධ ජීවන අවස්ථාවලදී විශේෂයෙන් ඉස්මතු වී එම ගුඪ චෛතසිකයන් අළු යට ඇති ගිනි අඟුරු මෙන් උඩට මතුවිය හැකි බව මෙම නවකතාවේ යටිපෙළින් කදිමට ඉදිරිපත් කරන්නේ මෙකී නවකතාවේ එන චරිතවල ඝට්ටනයන් හා ක්‍රියාකාරකම් තුළිනි. එය මෙකී කෘතියේ ගුණාත්මකභාවය වර්ධනය කිරිිමට කතුවරයා විසින් පළඳවන ලද ආභරණයක් වැන්න. එහි දිස්නයෙන් මුළු නිර්මාණයම ආලෝකමත් වී තිබේයැයි අවිවාදයෙන් කිව හැකිය.

නවකතාවක් යනු කෙටිකතාවක දීර්ඝ කිරීමක් නොවේය යන්න විචාරක මතයයි. එලෙසින්ම මෙලොව සෑම පුද්ගලයෙකුටම සාර්ථක නිර්මාණකරුවෙකු විය නොහැකිය. ඒ සඳහා කතුවරයා සතුව සුවිශේෂී ගුණාංග පැවතීම අනිවාර්ය වේ. එම ගුණාංග කතුවරයෙකුට උපතින් ලැබෙන්නක් නොවන අතර හැදෑරීම මඟින් ලබාගත යුතු ගුණාංග ඒ අතර වේ. 

01) වාසනා ගුණය

02) ව්‍යුත්පත්තිය

03) සතතභ්‍යාසය

04) ප්‍රතිභාව

05) පරිකල්පනය

06) බහුශ්‍රැතභවය

සයිමන් නවගත්තේගමයන් සිය නිර්මාණය සඳහා ග්‍රාමීය පරිසරය හා ඔහු අධ්‍යාපනය ලද අවධියෙහි නාගරික ජීවිතයේදී ලද අත්දැකීම් මනා ලෙස සුසංයෝජනය කරගත් ආකාරය හඳුනාගත හැකිය. අන්තර් සංස්කෘතීන් මඟින් ලත් ජීවන පරිඥානය නිසඟයෙන්ම ඔහු සතු ලේඛන හැකියාව වර්ධනය කරලූ බවට අපූරු සාක්ෂියක් ලෙස ‘සංසාරාරණ.යේ දඩයක්කාරයා’ නිසඟයෙන්ම ඉදිරිපත් කළ හැකි බව සක්සුදක් සේ පැහැදිලිය.

Cover Page


Saturday, July 27, 2019

අපේ හීනවලට මාංචු දාගමු


අපේ හීනවලට මාංචු දාගමු

කාත් කවුරුත් නැති ලෝකයක ඔයා දැන් තනිවෙලා ඔයාගෙ සතුට හොයාගෙන යනවා. ඒ පාර හරිම ලස්සනයි. ඔයාගෙ දුර්වලකම්වලට හිනාවෙන්න දැන් කවුරුත් නෑ. ඔයාට රිද්දන්න කවුරුත් නෑ. ඔයා ලස්සන මල් පිපුණු පාරක අලුත් ලෝකයකට අඩිය තියනවා. ඔයාට ඒ පාර ගොඩක් හුරු පුරුදු එකක් නෙවෙයි. ඒත් ඔයා ඒ මල් පාර දිගේ හෙමින් හෙමින් ඇවිදින්න  බයවෙන්නෙත් නැහැ.කවුද ඔයා මේ හොයාගෙන යන්නේ. අනුන්ගෙ වැරදි හොයන්න කාලය ගත කරන මිනිස්සු මේ අලුත් ලෝකයේ නැහැ. අනුන්ට සමච්චලයට හිනාවෙන මිනිස්සු ඒ අලුත් ලෝකයේ නැහැ. ඔයාට දැනෙන්නෙ පුදුමාකාර සතුටක්. සැහැල්ලුවක්. ඔයා මේ සතුට විින්න ආසයි. ඔයා විතරක් තනිවෙලා ඉන්න ඒ ලෝකයේ ඔයා ඉස්සරහට අඩිය තියනවා....ඉස්සරහින් තිබුණ ගල් පර්වතයක් දිගේ යන්න ගිහින් ඔයාගෙ කකුල ලිස්සල ඔයා පහළට වැටෙන්න යනවා..ඔයා එකපාරටම බය වෙලා කෑගහනවා. ඇහැ ඇරල බලන කොටයි ඔයාට තේරුණේ ඔයා මෙච්චර වෙලා සතුටු වෙලා තියෙන්නේ හීනෙන් දැකපු දේකට කියලා.
 අපිට දැනුම් තේරුම් තියෙන කාලෙ ඉදන් අපි හැමෝම හීන දකිනව නේද? ඒ සමහර හීනවලට අපි කොච්චර ආදරේ කරනවද? ඒත් පස්සෙයි තේරෙන්නෙ ඒවා අපි දැකපු හීනයක්ම විතරයි කියල. අපි දකින සමහර හීන අපේම කරගෙන සැබෑ කරගන්න බැරි වුණාට හිතෙන් ඒ හීනවලට ආදරේ කරන්න අපි පුරුදුවෙලා ඉන්නවද කියන දේ ගැන ඔයා හොටම දන්නවනේ. මේ හීන අතරෙ මේ ලෝකයේ සැබෑ කරගන්න පුළුවන් හීන වගේම මේ ලෝකයේ සැබෑ කරගන්න බැරි හීනත් තියෙනවා. ඒත් අපි හැමෝම කැමති අපේ හීන මොනදේ කරල හරි සැබෑවක් කරගන්න. කාලයත් එක්ක අපේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. අපි දකින හීනත් ඒ වගේ. අද කොච්චර ආස වුණත් හෙට ඒ හීන වෙනස් වෙන්න පුළුවන්. අලුත් වෙන්න පුළුවන්. 

Image result for dream

කාලයත් එක්ක අපි අපේ හීනවලට ආදරේ කරන්න පෙළඹෙන්නෙ අපිටත් හොරෙන්. සමහර වෙලාවට අපිම දන්නෙ නැති තරමට අපි ඒ හීනවලට ආදරේ කරල. තමන්ගෙ කියල හො වාහනයක් ගන්න එක කෙනෙක්ගෙ හීනයක් වෙන්න පුළුවන්. ඒ හීනය හැබෑ කරගන්න තමන් ධනවත් කෙනෙක් නම් ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි. ඒත් ඔයාට ඒ තරම් දෙයක් ගන්න තරම් සල්ලි නැති වුණත් තමන්ගෙ ඒ හීනය බොකරගෙන හරියන්නෙ නැහැනේ. එහෙනම් ඔයා සල්ලි හොයන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. ඔයා දක්ෂ කෙනෙක් නම් ඒ හීනය ළපාතක නැතත් කවදම හරි දවසක ඔයා දැකපු සුන්දර හීනය සැබෑවක් කරගන්න ඔයාට පුළුවන් කියල මට විශ්වාසයි. මමත් කාලයක් තිස්සේ දැකපු හීන ඒ වගේ හැබෑවෙලා තියෙන නිසා. ඒ විදිහට මගේ හීනය හැබෑ කරගන්න මම ගොඩක් උත්සාහ කළා. කැපකිරීම් කළා. අවසාන ප්‍රතිඵලය සුභවාදී වුණා. ඔයාගෙ සුන්දර හීනවලටත් යම් දවසක ඒ වගේ වටිනාකමක් එක්වේවි. මොකද ඔයාගෙ මහන්සියෙන්ම ඒ හීන සැබෑ කරගන්න නිසා.
හීන අපි ළට එන්නෙ නැහැ. අපි හීන පස්සෙ හඹායන්න ඕනි කියල පාසල් කාලයේ අපිට කියාදුන්නෙ ගුරුවරු. අපේ හීන එකින් එක සැබෑ කරගනනවත් එක්කම අලුත් අලුත් හීන දකින්න අපි හැමෝම පෙළඹෙනව. ඒක අපේ ස්වභාවය. එක හීනයක් සැබෑ කරගන්න බැරිවුණා කියල අපි අපේ හීන දකින එක නතර කරන්නෙ නැහැ. අපි නිදාගන්නේ හීන එක්ක. ආයෙම අවදි වෙන්නෙත් හීන එක්ක. හීන ඒ තරමටම අපේ ජීවිතවලට සමීපයි. ඒ හීන අපේ කරගන්න උත්සාහ කරන්නෙත් ඒ නිසයි. අපේ හීන සැබෑ කරගන්න පුළුවන් මන්තරේ තියෙන්නෙත් අපි ගාවමයි. දැන් ඔයා කල්පනා කරනව ඇති මොකක්ද මේ හීන සැබෑ කරගන්න මන්තරේ කියල. මම කියන්න යන මන්තරේ නම් FM නාලිකාවල අහන හරි කියන හරි මන්තරේ නම් නෙවෙයි. අපි ළම තිබුණත් අපි භාවිත කරන්නෙ නැති දෙයක්. ඒ පුදුමසහගත මන්තරේ තමයි උත්සාහය හෙවත් කැපවීම.
ඔයාම කල්පනා කරල බලන්න. ඔයා දකින හීන ගැන ඔයා මොනවද හිතන්නෙ කියලා. මෙන්න මෙහෙම උත්තරයක් ඔයා මට දේවි. අපේ හීන කවදාවත් අපිට සැබෑ කරගන්න පුළුවන් හීන නෙවෙයි. ඒ හීන හීනයක්ම වෙලා අපිත් එක්කම මැරිල යාවි. ඒත් ඔයා මෙහෙම කිවුවට කවදාවත් ඔයාගෙ සුන්දර හීනය වෙනුවෙන් දවසක් හරි කැපවුණාද කියල හදවත්වලින් අහල බලන්න. ඔයා ඔයාගෙම හීනයට ඒ වගේ වටිනාකමක් දෙන්නෙ නැත්නම් ඔයාට කවදාවත් ඒ හීනය සැබෑ කරගන්න බැරිවේවි. දැන් youth එකේ ඉන්න අපිට හීන කියන දේ මාංචු දාල අල්ලගෙන තියාගන්න පුළුවන්නම් ඒ හීනය කවදාවත් අපෙන් ගිලිහිලා යන්නෙ නැහැ. අපෙන් ඈතට යන්නෙ නැහැ. අපේ වයසත් එක්ක හැමදාම අලුත්වෙන හීන එක්ක ජීවත් වෙන්න ආස වගේම තමන්ට ඕන විදිහට ඒ හීන මේ ලෝකයේ සැබෑවක් කරගන්න ක්‍රමය මොකක්ද කියන එක ඔයා දැන්ම ඉදන්ම තේරුම්ගන්න ඕන. මේ ලෝකයේ ශ්‍රේෂ්ටයි කියල කියන හැම මන්ස්සයෙක් ළම සැවුණු හීනයක් තිබුණා. ඒ හීන සමහර වෙලාවට මතුපිටින් නොපෙනුනාට තමන් දැකපු ඒ හීනය වෙනුවෙන් ඒ කෙනා අනන්ත දුක් විින්න ඇති. හීනවලට ලොකු පොඩි කියල වෙනසක් නෑනේ. කුඩා දරුවගෙ ඉල වැඩිහිටියා දක්වාම මේ ලෝකයේ මිනිසුන්ට එක එක හීන තියෙනවා. Youth එක ගතකරන ඔයා හිතල බලන්න, ඔයා වෙනුවෙන් ඔයාගෙ අම්ම, තාත්ත කොච්චර හීන දකිනවද කියල . අද ඔයා ඉන්න තැනත් එක්ක අපේ දෙමවුපියන්ගෙ හීන කීයක් අපි සැබෑ කරල තියෙනවද කියල හදවතින් අහල බලන්න. දැන් ඔයා ගෙවන්නෙ මුකුත් නොතේරෙන ළමා අවධිය නෙවෙයි. ඔයා ගැන ඔයාගෙ අම්මගෙ තාත්තගෙ හිතේ තියෙන හීන හීනයක්ම වෙන්න දෙනවද නැත්නම් ඒ හීන සැබෑ කරල දීල සතුට කියන දේ ඒ අයට ගෙනත් දෙනවද කියල ඔයාම හිතල බලන්න. මේ ජීවිතය අපේ. ඒක ඇත්ත. ඒත් අපේ හීන වගේම අපි ගැන අපි වටේට ඉන්න අයගෙ හිතේ තියෙන හීනත් සැබෑ කරල දෙන්න පුළුවන්. ඒ තරම් සතුටක් මේ ලෝකයේ ඇති කියල මම නම් හිතන්නෙ නැහැ.
ඔයාගෙම කියල අලුත් අලුත් හීන දකින්න. සිහින හඹා යන්න. ඒ හීනවලට මාංචු දාගන්න. ඒත් හීන එකින් එක සැබෑ කරගන්නත් පුළුවන් තරම් මහන්සි වෙන්න. එතකොට ඔයාගෙ සැනසීම, සතුට ඔයා සොයාගෙන ඒවි.

Wednesday, May 15, 2019

සැළලිහිණි සන්දේශයේ වර්ණනා චාතුර්යය


සැළලිහිණි සන්දේශයේ වර්ණනා චාතුර්යය


සිංහල සන්දේශ සාහිත්‍යාවලියෙහි එන සන්දේශ අතර සැළලිහිණි සන්දේශයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. සිංහල සාහිත්‍ය වංසයෙහි ස්වර්ණමය යුගය ලෙස නම් කෙරෙන කෝට්ටේ යුගය තුළදී රචනා වී ඇති සැළලිහිණි සන්දේශය වනාහී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍ය රචනයකි. පූර්ව කාලයෙහි පෞද්ගලික අරමුණු මුල් කොට ගනිමින් රචනා වූ සන්දේශ, කෝට්ටේ යුගයෙන් පසු පොදු අරමුණු මුල් කරගනිමින් රචනා වන්නට විය. සැළලිහිණි සන්දේශය රචනා කිරීමෙන් අපේක්ෂා කර ඇත්තේ හයවන පැරකුම්බාවන්ගේ දියණිය වූ උලකුඩය දේවියට, ආයුෂ, සම්පත්, නුවණ හා යසස සහිත පුත් රුවනක් ලබාදෙන ලෙස කැලණියේ විභීෂණ සුරිදුන්ගෙන් අයැද සිටීමයි.

සිංහල සන්දේශ කාව්‍ය අතර සංක්ෂිප්තම සන්දේශ කාව්‍ය වන්නේ සැළලිහිණියයි. මියුරු වදන් සහිත සැළලිහිණියෙකු දූතයා කොට ගනිමින් සරල, සුගම භාෂා රටාවන් යොදාගෙන රචනා වූ මෙකී සන්දේශය සන්දේශ සාහිත්‍යයේ විශිෂ්ටතම සන්දේශය ලෙස ජනාදරයට පත් වූවකි. මෙහි ගමන් මග වූයේ ජයවර්ධනපුරයේ සිට කැලණිය දක්වාය. සංක්ෂිප්ත ගමන්මගක අලංකෘතත්වය සිය කාව්‍ය මනසට ගෝචර කරගනිමින් රචනා වූ සැළලිහිණි සන්දේශය වනාහී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ පරිණත වූ කාව්‍ය විශාරදත්වය මැනවින් ප්‍රදර්ශනය කරන කැඩපතක් වැනිය.

සැළලිහියෙහි කවියක් කටපාඩමින් කිවීමට නොදත් දරුවෙකු හෝ වැඩිහිටියෙකු සොයාගත නොහැකි තරම්ය. එය එතරම්ම රසවත් කාව්‍ය රචනයක් බව එයින්ම ගම්‍යමාන වේ. මෙම සන්දේශය මේ සා විශාල ජනාදරයට ලක්වීමට බලපෑ හේතුවක් වන්නේ එම සන්දේශය තුළින් ගම්‍ය වන වර්ණනා චාතුර්යයයි. වර්ණනා චාතුර්යය යනු යම්කිසි අත්දැකීමක් ඉතා රසවත්ව, නැවුම්ව, කාව්‍යාත්මකව ඉදිරිපත් කිරීමයි. එනම් අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාවයි. සෑම සන්දේශකරුවෙක්ම නිශ්චිත ආකෘතියකට අනුව සන්දේශය රචනා කර තිබේ. ඒ අනුව යමින් රාහුල හිමියන්ද කාව්‍යාත්මක පරිකල්පනා සහෘද මනස වෙත ගෙන එන්නේ තාත්විකත්වය මනාවට ඉස්මතු කරවමිනි. එකී ආකෘතිය කුළ දූත වැනුම, නගර වැනුම, මග වැනුම, සොබාදහම් වැනුම, උදා වැනුම යනාදී වැනුම් ගණනාවක් අන්තර්ගත වේ.

සැළලිහිණියා වර්ණනා කිරීමට කවියා ඉතා සූක්ෂම ක්‍රමෝපායන් භාවිත කර ඇති බව සනාථ කරගත හැකි සාක්ෂි දූත වැනුම තුළින් ඉස්මතු වේ. මයුර කවියාට මොණරා යනු තවත් පක්ෂියෙකු පමණි, ගිරා කවියාට ගිරවා යනු එක් පක්ෂියෙකු පමණි. නමුත් සැළලිහිනි කවියාට සැළලිහිනියා යනු තවත් එක් පක්ෂියෙකු පමණක් නොවේ. සැළලිහිණි කවියා සැළලිහිණියා දකින්නේ විටෙක මිනිස් දියනියක් වශයෙනි. සිය දරුවෙකු අමතන්නාක් මෙන් දැඩි මානව දයාවකින් කවියා දූතයා ආමන්ත්‍රණය කර ඇති අයුරු සිත්ගන්නා සුලුය.

            “වන දෙවිලියෝ නොකොලොද සවන අබර  
             එන මග දුකක් නොවීද සබදිනි කළ               
            සෙනෙහස බැදුණු තැන නොහරින කරැ දියු    
           වෙන සැප කුමට තොප දකිනා එම පම            ණ"

මෙකී දූත වැනුම තුළින් ගම්‍යමාන වන තවත් සුවිශේෂීතාවක් වන්නේ කවියා විසින් දූතයා කෙරෙහි හෙළා ඇති මානුෂික ස්වභාවයයි. අසීමාන්තික වූ ස්නේහයයි. කවියාට සැළලිහිණියා දැකීම තරම් වෙනත් සැපක් නොමැති බව දැක්වීමෙන්ම එකී දූතයා කෙරෙහි දක්වන ළබැදියාව කෙතරම්ද යන්න මනාව ධ්වනිත වේ.

දූතයා මලකට උපමා කිරීමට තරම් කවියා අව්‍යාජ වී ඇත. පුෂ්පයක් යනු මෙලොව සියල්ලන්ම අප්‍රමාණව ඇලුම් කරන වස්තුවකි. මෙකී වර්ණනාවන් අසන කල සිය අරමුණ මැනවින් ඉටු කිරීමට දූතයා පෙලඹෙයි. මේ තුළින් විද්‍යමාන වන්නේ අපූර්ව වස්තු රසාලිප්ත ආකාරයෙන් සහෘද මනසේ චිත්‍රරණය කරන්නට කවියා දැක්වූ අප්‍රමාණ කුසලතාව නොවේද?

 තවද සැළලිහිණියෙහි එන සමුදුර වැනුම ඉතා අලංකෘත කාව්‍යමය චින්තාවක් සහෘද චිත්ත අභ්‍යන්තරයට ගෙන යයි. අන් සන්දේශ කවීන්ට වඩා නවමු වූ අත්දැකීමක් කවියා උපයුක්ත කොටගෙන ඇති අයුරු මෙහිදී විමසිය හැකිය.
                  “ වළදින අදහසින් මෙනි සුර ගග අග        
                   නල බල සසල දළ රළ පෙළ නුබ නැගෙ න
                   වෙලළසැ ගැවසි මුතු සක් පබළු බබළ    
                  බල මහ මුහුද එම සද උතුරෙන් පෙනෙ    න"

මෙහි මහා සමුද්‍රයා හැඩි දැඩි වූ පුරුෂයෙකි. පෙම්වතෙකි. අහස් ගග සුකුමාල කාන්තාවකි. පෙම්වතියකි. තම පෙම්වතිය වැළදගන්නා අදහසින් මුහුද නම් පෙම්වතා රළ නැමැති අත් ඉහළට දිගු කිරීමක් ලෙස මුහුදෙහි රළ නැගීම දැක්වීම මනරම් වූ සංකල්පනාවකි. මෙබදු නවමු සංකල්පනා ඉදිරිපත් කිරීම සැළලිහිණි කවියාගේ ප්‍රතිභාපූර්ණත්වයට සාක්ෂි දෙයි. එපමණක් නොව කවියේ ශෘංගාරාත්මකබව රැකගැනීමට මෙන්ම ශබ්ද රසය කුළු ගන්වමින් ශ්‍රව්‍යගෝචරබව රැකගැනීමටද කවියා සමත් වී ඇත.‍ මෙහි “නල බල සසල දළ රළ පෙළ" යන්නෙහි ලකාරය බහුලව යොදාගෙන ඇත. මුහුද කැළඹී ඇති අවස්ථාවකදී කෙනෙකු තුළ ඇති වන ප්‍රීතිය, සන්තාසය වැනි නොයෙකුත් මනෝභාවයන් මෙම කවියෙහි ශබ්ද රසය තුළ ගැබ්වේ. සමුදයේ දැඩි රළ නැගීම කවියා රාගෝන්මාන්තික තරුණයෙකු පිළිබද සිතුවමක් මවයි. ශබ්ද රසයේ මෙන්ම අර්ථ රස‍යේ මනා සුසංයෝගයක් ලෙස හදුනාගත හැකිය.

ප්‍රතිභාපූර්ණ කවියා සැමවිටම සිය රසිකයා උසස් ජීවන දෘෂ්ටයක් කරා ‍මෙහෙයවන්නේ සිය භාෂාව නැමැති සියුම් වූත්, ඉතා තියුණු වූත් ආයුධය පාදක කරගනිමිනි. සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනයාමට ඔහු දරන්නේ ප්‍රබල වෑයමකි. සැළලිහිනියා නොයෙක් ගම්දනවු පසු කරමින් කැලණි පුරවරට පැමිණීම යනු දූතයාගේ ඉෂ්ටාර්ථය මුදුන් පැමිණීම වේ. එය කවියා අලංකෘත අයුරින් කාව්‍යයට නගා ඇත්තේ මෙසේය.
                     
                   ''පැහැසරණිය මිණි පැමිණිය කොත් අග   
                    බද කිකිණිය දද ගිහිණිය විමන්            
                    නොව පැරණිය වන රමණිය විටින්   වි   
                    සැළලිහිණිය වදු කැලණිය පුරවර            ට"

කවියා මෙහිදී හුදෙක් පද්‍යයේ බාහිර ආකෘතිය රැකගැනීම සදහා එලිසමය යොදාගත් බවක් මෙහිදී නොපෙනේ. පද සංඝටනය නිරායාසයෙන්ම ගමනාන්තය විශද කිරීම සදහා ගැලපීඹක් දක්වයි. සැළලිහිණියා පුල පුලා බලා සිටියේ අසිරිමත් වූ කැලණි පුරවරය දැකබලා ගැනීමටය. අහස් කුසෙහි පියාසර කරමින් ආ දූතයා ක්‍රමයෙන් වේගය අඩු කරමින් පොළෝ තලය වෙතට පියාසර කරයි. එම පියාසර කිරීමේ රිද්මය මෙකී කාව්‍යයේ ශබ්ද රසය තුළ අන්තර්ගත වේ.

තවද චිත්ත රූප මැවීමෙහිලා කවියා දක්වා ඇති කුසලතාව සිත්ගන්නා සුලුය. විටෙක සැළලිහිනි සන්දේශය වනාහී චිත්‍ර කතාවක් හා සමානය. විටෙක උසස් තත්ත්වයේ සිනමා කෘතියක් මෙන්ය. ඒ බව තහවුරු කරන නිදසුනක් පහත වෙයි.

                    “ උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුව     
                      පහළ වන බැවින් තම වෙත නිසඹු දො 
                      ලකළ ගුවන් තල සිරියහනැ නිකස      
                     අතුළ කුසුම් විලසින් සැදෙත තුරු වැ     ළ"

සොබාදහමේ සොදුරු සිදුවීම් හා අජීවී වස්තූන් කවියා කාව්‍යාත්මකව දැක ඇත්තේ එම වස්තූන්ට ජීවීබවක් ආරෝපණය කරවමිනි. කවියාට අනුව රාත්‍රිය යනු බිරිදයි. පූර්ණ චන්ද්‍රයා යනු සැමියාය. රාත්‍රිය නම් කාන්තාව සිය චන්ද්‍රයා නම් වූ සැමියා පිළිගැනීමට තාරකා නම් මල් ඇතිරූ යහන සකස් කරගෙන බලා සිටියි. තම යහන සකසාගෙන සැමියා එනතුරු බලා සිටින්නේ මහත් ආසාවෙනි. බිරිදක් හා සැමියෙකු අතර අසීමිත ළබැදියාව සොබාදහමේ අපූර්ව වස්තූන්ට ආදේශ කොට ඇති අයුරු සිත්ගන්නා සුලුය.

මෙලෙස කවියා හැකි සැමවිටම සිය වර්ණනා චාතුර්යය රසිකයා වෙත ගෙන එයි. රමණීය සංකල්ප රූප මවමින්, සෞන්දර්යාත්මක ප්‍රවේශයකට මංපෙත් කරමින්, බෙහෙවින්ම භාවාතිශය ස්වභාවයක් විද්‍යමාන කරමින් කවියා රසික හදවත් ස්පර්ශ කරන අයුරු අගය කළ යුතුය.

යථෝක්ක කරුණු අනුව සැළලිහිණි සන්දේශය සිංහල සන්දේශ කාව්‍යාවලිය තුළ විශිෂ්තටම කාව්‍ය රචනය බව සනාථ වේ. ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රතිභාපූර්ණ කවීත්වයත්, සරල, සුගම වූ චිත්තාකර්ශනීය වචන සමුදායත්, ශබ්ද අර්ථ රසයන්ගේ මනා සුසංයෝගයත්, ධ්වනි ගුණයත්, සංක්ෂිප්ත ගුණයත්, රමණීය සංකල්පනාවන් යනාදී වූ සකලවිධ වූ කාරණා හේතුවෙන් සැළලිහිණි සන්දේශය වනාහී රසාලිප්ත කාව්‍ය රචනාවක් ලෙස අගය කළ හැකිය.

Wednesday, April 3, 2019

දහඅට සන්නියෙන් නිරූපණය වන රෝග නිර්ණයන්


දහඅට සන්නියෙන් නිරූපණය වන රෝග නිර්ණයන්

                  "ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ටී පරමං ධනං යනුවෙන් බුද්ධ භාිතයේ දක්වා ඇත්තේ නිරෝගීබව උතුම්ම ලාභය හා සතුට උතුම්ම ධනය වන බවයි. සියලුම ජාති ආගම්වල පරම පැතුම වන්නේද නිරෝගීභාවයයි.අද සමාජයේ නවීන වෛද්‍ය පහසුකම් ,යන්ත්‍ර සූත්‍ර හමුවේ පූර්වයෙන් රෝග හඳුනාගැනීමටත්,ඒවා සුව කිරීමටත් හැකියාව ලැබී ඇත.නවීන වෛද්‍ය විද්‍යාව ඒ තරමටම දියුණු වී තිබීම අප ලබාගත් සුවිශාල ජයග්‍රහණයකි.එදා සාම්ප්‍රදායික සමාජය තුළ ගැමියා රෝග නිවාරණය සඳහා යොදාගත්තේ යන්ත්‍ර මන්ත්‍ර,ගුරුකම්,ශාන්තිකර්ම වැනි සාම්ප්‍රදායික ක්‍රමෝපායන්ය.මිනිසුන් කෙරෙහි බැල්ම හෙළන අදිසි බලවේගයන්ගෙන් විවිධ අතුරු අන්තරා,දුක් පීඩා ඇතිවෙතැයි විශ්වාස කළ ඔවූහු මෙමඟින් ඒවා සමනය කරගත්හ.ඒ අතර ශාන්තිකර්ම යනු යක්ෂයින්,දෙවියන් ‍හෝ ග්‍රහයන් උදෙසා සිදුකරන පූජාකර්මයකි.පහතරට සම්ප්‍රදායේ එන ලෙස යක්ෂයින් උදෙසා සිදුකරන යක් තොවිල් වර්ග 04කි.
1)      දහඅට සන්නිය හෙවත් සන්නියකුම
2)      රටයකුම හෙවත් රිද්දි යාගය
3)      සූනියම් යාගය
4)      මහසොහොන් සමයම
              මෙම යක් තොවිල් වර්ග අතර දහඅට සන්නියට ප්‍රධාන තැනක් හිමිවේ.මෙම ශාන්තිකර්මය දකුණු පළාතේ ගාල්ල,මාතර,වැලිගම,අම්බලන්ගොඩ වැනි ප්‍රදේශවල බෙහෙවින් ප්‍රචලිතය.අපේ පාරම්පරික ප්‍රසංග කලාවෙහි එන ශිල්පීය ක්‍රම භාවිතය අතින් බලන කල දහඅට සන්නිය අනෙකුත් ශාන්තිකර්ම අභිබවා සිටී.මානසික දුර්වලතා හා බැඳුණු වා පිත්,සෙම් යන තුන්දොස් කිපීම හේතු කොටගෙන හටගන්නා සන්නි රෝග දහ අටක් එකින් එක විදාලමින්,එම රෝග සංකේතවත් කරමින්, වෙස් මුහුණු පැළඳ,රෝගියා ඉදිරියේ ත්‍රාසයෙන්,හාස්‍යයෙන්,කුතුහලයෙන් කරන මෙය එක්තරා ආකාරයක චරිත නිරූපණ ක්‍රියාවලියක් වන අතර අතීශය  චමත්කාරජනක රංඟයකි.නූතන සමාජයේ දැනුදු මේ ශාන්තිකර්මය කෙරෙන්නේ වැඩි වශයෙන් හුදු විනෝදය සඳහාය.තවත් අය, දරු දැරියන්ට ඉඳුල් කටගෑම සඳහාත්,ඇප නූල් බැඳ ඒ ඇප නිදහස් කරගැනීම සඳහාද පවත්වති.මේවායේ ඇති ගුප්ත බල අපේ පැරණි ගුරුවරුන් විසින් ආරක්ෂා කරගන්නා ලදී.
                                                           (ප්‍රනාන්දු, 1987.පි.iv)
                  එදා සමාජය තුළ රෝග නිධානය හඳුනා ගැනීම අපහසු සිහිමුර්ජා වීම්,අපස්මාරය වැනි රෝග ගැමියා හැඳින්වූයේ සන්නි රෝග ලෙසිනි.ඒ අනුව දහඅට සන්නිය යන නාමය මඟින්ම හෙළිවන පරිදි මෙම ශාන්තිකර්මයෙන් නිරූපණය වන්නේ මිනිසාට සැදෙන රෝග දහඅටක් පිළිබඳවය.මෙම ශාන්තිකර්මයේ පුද ලබන ප්‍රධාන යක්ෂයා වන්නේ මහා කෝල සන්නි යකාය.මොහුගේ උපත සම්බන්ධ ප්‍රචලිතම කතාව මෙසේය.
                විශාලා මහ නුවර සංඛපාල නම් රජ කෙනෙක් විය.ඔහු යුද්ධයක් සඳහා සිය බිරිඳ වන අසූපාල කුමරිය තනිකර මාළිඟයෙන් පිටත් වෙයි.ඒ වන විටත් තම බිරිඳ ගැබ්බරබව රජු නොදැන සිටියේය.මේ අතර කුමරියට මී අඹ කෑමේ දොලක් ඇති වේ.අසීරුවෙන් මී අඹයක් ගෙන්වාගත් කුමරිය එය තනිව අනුභව කරයි.කුමරිය තනිව මී අඹය අනුභව කිරීම නිසා කුමරිය කෙරෙහි වෛරයක් ඇති කරගත් දාසිය රජතුමා නැවත පැමිණි පසු කුමරිය මහ ඇමති නිසා ගැබ් ගත් බවට මුසා පවසයි.කිසිඳු විචාරයකින් තොරව එය පිළිගත් රජු කුමරියව පුබ්බේරිය ගසක එල්ලා මරන ලෙස නියෝග කරයි.ඇයව එසේ මැරීමට කඩුවෙන් ගැසූ විගස ශරීරය දෙපලු වෙයි.දෙපලු වූ පලු දෙක යළි එකතු වී මහා කෝල සන්නි යකා ඉපදෙයි.ඔහු තම මව මැරූ පලිය ගැනීමට විෂ බෙහෙත් ගුලි දහඅටක් සකස් කරයි.ඒ තුළින් අනික් සන්නි යකුන් දහඅට දෙනා උපත ලද බව කියවේ.ඔවුන් විශාලා මහනුවර තුන්බිය ඇතිකොට මිනිස් ජීවිත විනාශ කළ බව පැවසේ. දහඅට සන්නියේ උපත් කතාවට අනුව සන්නි යකුන් දහඅට දෙනා මිනිසාගේ ශරීරය ලෙඩ කිරීමට බෙදාගත් අයුරු මෙලෙසය.
මළකඳ ඇතුළෙන් ඉපදුන       කුමරෙකි
උනද සෙලෙස්මාවෙන් එක ගොල්ලෙකි
වායු පිතෙන් එහි හටගත්     සෙනඟකි          
අතුරු නගරයෙන් හටගත්   සෙනඟකි
ඉසේ ලෙඩට පස් දෙනෙක්     සදාගති      
‍‍දේ ලෙඩට පස්දෙනෙක්     සදාගති
සන්ධිවලට දහඅටට            බෙදාගති
දවසට දහයක් මිනී               මරාගති
       (අන්තර්ජාලය,www.lankadeepa.lk-2017 මැයි 21Article)
ඒ අනුවදහඅට සන්නිය මඟින් මිනිසාගේ වා පිත් සෙම් ආශ්‍රිත සියලු ලෙඩ රෝගවලට මානසික සුවයක් ලබාදීම සිදුවේ.දහඅට සන්නියේ එන සන්නි දහඅට මෙසේය.



1)      භූත සන්නිය
2)      අභූත සන්නිය
3)      වෙඩි සන්නිය
4)      අමුක්කු සන්නිය
5)      වාත සන්නිය
6)      ගොළු සන්නිය
7)      බීරි සන්නිය
8)      කණ සන්නිය
9)      මූර්තු සන්නිය
10)  ගිනිජල් සන්නිය
11)  දෙමළ සන්නිය
12)  නාග සන්නිය
13)  ගුල්ම සන්නිය
14)  කොර සන්නිය
15)  වෙව්ලුම් සන්නිය
16)  දේව සන්නිය
17)  පිස්සු සන්නිය
18)  කෝල සන්නිය



        මෙහි භූත සන්නිය මඟින් නිරූපණය වන්නේ වාතය හා පිත කිපීමෙන් ඇඟ සීතල වී ඇතිවන අතපය අමාරුව,සිහිනෙන් බියවීම,ආහාර අරුචිය,බඩ පෙරළීම,ඇඟපත කැසීම යනාදී රෝග ලක්ෂණයි.අභුත සන්නිය මඟින් භූත සන්නිය මෙන්ම වාතය මුල් කරගෙන සෑදෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.මොහු නිරතුරුවම බුදු අම්මෝ දනවෝ දනවෝ යනුවෙන් කෑ ගසයි.අමුක්කු සන්නිය මඟින් වමනය යාම,බඩ බුරුලෙන් යාම යනාදී රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.දහඅට සන්නිය තුළ හාස්‍ය රසය උද්දීපනය කරන හා විකට ස්වරූපයක් ගන්නා සන්නිය වන්නේ වෙඩි සන්නියයි.කන යට ගෙඩි හට ගැනීම,එන් ලේ සාරය වහනය වීම,මුහුණ ගිනි ජාලාවක මෙන් වෙව්ලන අයුරක් දැනීම,දෑත දෙපයේ දහඩිය දැමීම මොහු නිරූපණය කරන රෝග ලක්ෂණයි.
              
              වාත සන්නිය මඟින් සුව නොවන හිසරදය,ඉදිමුම,ඇඟ වෙව්ලුම,අත් පා සීතල වී සන්ධිවල වේදනාව හටගැනීම,කොරබව යන රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් වාත රෝගියෙකුගේ ස්වභාවය ගනී.සුව නොවන බඩේ අමාරුව,එළිය වැටෙන විට නිදිමත ගතිය යන රෝග ලක්ෂණ ගොළු සන්නිය මඟින් නිරුපණය කරයි.ඒ අනුව ගොළු සන්නිය මඟින් ගොළු පුද්ගලයෙකුගේ ස්වභාවයද,බීරි සන්නිය මඟින් බීරි පුද්ගලයෙකුගේ ස්වභාවයද,කණ සන්නිය මඟින් දෑස් නොපෙනෙන පුද්ගලයෙකුගේ ස්වභාවයද දක්වමින් ශරීරයේ කැසීම,හිසරදය,සිහිමද ගතිය යන රෝගයන් ද පෙන්නුම් කරයි.මෙම සන්නි මඟින් මිනිසුන්ගේ විවිධ රෝගයන් සැබෑවක් ලෙසටම හැගෙන්නා සේ ඉදිරිපත් කරයි. උණ රෝගියෙකු සතු රෝග නිර්ණයන් වන්නේ කෙඳිරීම,උඩු කය පොරෝනයකින් වසා සිටීම,හිසරදය,ආහාර අරුචිය,බඩ පෙරළවීම යනාදියයි.උණ රෝගයේ අසාධ්‍යබව ගිනිජල් සන්නිය මඟින් නිරූපණය කරයි.වාත නිසා හටගන්නා  රෝග වන සිහි නැතිවීම,නිතර කැසීම,වමනය,බඩේ අමාරුව වැනි රෝග ලක්ෂණ පිළිවෙලින් මුර්තු සන්නිය හා දෙමළ සන්නිය මඟින් දක්වයි.
           
            දහඅට සන්නියේ එන නාග සන්නිය යනු විශේෂ සන්නියකි.නාගයෙකුගේ පෙණය සහිත වෙස් මුහුණක් පැළඳ සිටින මෙම සන්නිය නාගයෙකුගේ ස්වභාවය ගනී.බඩේ රුදාව නිතරම ඇතිවන බව පෙන්වන ගුල්ම සන්නිය මඟින් ගුල්ම පණුවා විසින් ඇති කරන සියලු ලෙඩ රෝග පෙන්නුම් කරන අතර අත්පා කොරවීම,සන්ධි රුදාව වැනි රෝග නිර්ණයන් පෙන්නුම් කරන්නේ කොර සන්නිය මඟිනි.වෙව්ලුම් සන්නිය මඟින් බියට පත්වී ඇති උණ රෝගයෙන් පෙළෙන්නෙකුගේ ස්වභාවයක් නිරූපණය කරයි.දහඅට සන්නිය තුළ නිරූපිත දේව සන්නිය යනු තවත් සුවිශේෂී සන්නියකි.මෙය මිනිසාට යහපත් ආකාරයට මෙන්ම අයහපත් ආකාරයට ද බලපෑම් කරන බව කියවේ.ගම් රටවල් පාළු කරමින් මිනිස් සිරුර ලෙඩ කරවන අතර ඇඟපත අමාරු ඇති කරවයි.විශාලා මහනුවර ඇති වූවායැයි සලකන අභිවාතක රෝගය මෙන්ම සත් වසරකින් මියයන රෝගයක් මෙම සන්නිය මඟින් නිරූපණය කරයි.එමෙන්ම දේව සන්නිය නිසා සියලු වස්දොස් දුරුවී,සැප සතුට හිමිවේය යන විශ්වාසය ගැමියා තුළ පවතී. මනස විකDති තත්ත්වයට පත් වීමේ ස්වභාවය දක්වන පිස්සු සන්නිය නිරතුරුව ශරීරයේ පලු නැගීම,බඩේ අමාරුව,පිස්සු ස්වභාවයෙන් ඇවිදීම,ඔක්කාරය,සැමවිටම බියෙන් විසිම හා කොක් හ~ලා සිනාසීම වැනි රෝග නිර්ණයන් දක්වයි.මෙවැනි රෝග නිර්ණයන් පවතී නම් ඉන් සහනය ලබා ගැනීම සඳහා මෙම ශාන්තිකර්මය යොදාගනි.
                   දහඅට සන්නිය අතර එන අවසාන සන්නිය කෝල සන්නියයි.උගුරේ ගෙඩි සෑදීම,යටි බඩේ කැක්කුම,නරක හීන පෙනීම යන රෝග නිර්ණයන් මෙම සන්නියෙන් නිරූපිතය.මෙලෙසින් සන්නි දහඅට මඟින් එක් එක් සන්නියට විශේෂිත රෝග ලක්ෂණ සහිත වෙස් මුහුණු පැළඳ සිටීම විශේෂත්වයක් දරයි.අවසානයේ මහා කෝල සන්නි යකා හිස මත ගොක්කොළ ඔටුන්නක් පැළඳ වේදිකාවට පැමිණේ.මනුෂ්‍ය ලෝකයේ රෝගීන් සුවපත් කිරීමේ වරය තමාට බුදුරදුන් විසින් ලබා දුන් බව ඔහු පවසයි.සන්නි යකුන්ගේ මෙම රැඟුම අවසන් වන්නේ පසුවදා හිමිදිරියේය.ආතුරයාට ඇති රෝග නිර්ණයන් තම තමන්ට ඇති බව දක්වමින් ශාන්තිකර්මය අවසානයේ ඒවා සුවවන බවට විශ්වාසයක් ආතුරයා තුළ ඇති කරයි.කෙබදු ශාන්තිකර්මයකින් වුවද සිදු කරන්නේ දුක් කරදර හඳුන්වා දී ශාන්තිකර්මය අවසානයත් සමඟ සියලු දුක් පීඩා සමනය වන බවට විශ්වාසයක් ඇති කිරීමයි.
          ශාරීරික රෝග ලක්ෂණවලින් පෙන්නුම් කෙරෙන ගොළුවීම,බිහිරි වීම වැනි රෝග ලක්ෂණ පවා ඇතැම් විට මානසික විකDතියක් හේතුකොටගෙන ඇතිවිය හැකියැයි නිගමනය කිරීමෙන් පසු ගොළු සන්නිය,බීරි සන්නිය ආදී වූ දහඅටක් වූ සන්නි රැඟුම්පාමින්,එම රෝග සංකේතවත් කොට රෝග නිවාරණ උපක්‍රම භාවිත කරයි.දහඅට සන්නිය පටන්ගත් සිට අවසානය දක්වාම එක පෙළට දිවෙන නාට්‍ය සංදර්ශනයකි.
                                     (ප්‍රේමතිලක,1992. පි. 7)  
           සමස්තයක් වශයෙන් ගත් කල මෙම ශාන්තිකර්මය මඟින් ඉදිරිපත් කරන සන්නිවල රෝග නිර්ණයන් පහත පරිදි වේ.



·         හිසරදය
·         කෑමඅරුචිය
·         සන්ධිගත වේදනා
·         බඩේ අමාරුව
·          ඇඟපත වෙව්ලුම
·         කණ වීම
·         ගොළු වීම
·         බිහිරි වීම
·         වමනය
·         උණ ගැනීම
·         පලු නැගීම
·         නරක හීන පෙනීම



             යනාදී වූ ශරීරයේ වා පිත් සෙම් කිපීමෙන් ඇති වූත්,හිසේ සිට පාදාන්තය දක්වා වූ විවිධකාර වූ රෝග ලක්ෂණයි.අද  සමාජයේ මෙම ශාන්තිකර්මය පැවැත්වීම හුදෙක් විනෝදාස්වාදය ලබා ගැනීමට සීමා වී ඇත.එක් එක් ග්‍රාමීය ලක්ෂණ අනුව මෙය වෙනස් වුවත් සිංහල සංස්කෘතියේ නෂ්ටාවශේෂයන් ලෙස මෙය සැලකීම යුක්තිසහගත වේ.සාම්ප්‍රදායික සමාජයේ හදිසියේ හටගන්නා මෙවැනි රෝග නිර්ණයන්ට සුදුසුම ප්‍රතිකාරය ලෙස යොදාගත්තේ මෙම ශාන්තිකර්මයයි.වර්තමානයේ මෙම ශාන්තිකර්ම සුලබව දැකගත නොහැකි වී ඇත්තේ විද්‍යාවේ හා තාක්ෂණික දියුණුව ඉහළ මට්ටමක පැවතීම නිසාය.නමුත් මෙවැනි අපූර්ව සංස්කෘතික උරුමයන් අපගේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැකගැනීම අප සතු වගකීමක් මෙන්ම එය අප සතු පරම  යුතුකමක්ද වන්නේය.