Sunday, June 17, 2018

නූතන මිනිසා විචාරශීලීද?

නූතන මිනිසා විචාරශීලීද?

මිනිසා ස්වභාවයෙන්ම සන්නිවේදනාත්මක සත්ත්වයෙකි. නිරතුරුවම තොරතුරු පිපාසයෙන් පෙළෙන මිනිසා කවර උපක්‍රමයකින් හෝ එකී පිපාසය සංසිඳුවා ගැනීම සඳහා කටයුතු කරයි. සාම්ප්‍රදායික සන්නිවේදන උපක්‍රම වන හූව, අණබෙරය, දුම යනාදී සන්නිවේදන ක්‍රමවලින් තෘප්ත නොවූ මිනිසා තම අවශ්‍යතා සංකීර්ණ වීම සමඟ ජනමාධ්‍ය නැමැති ප්‍රධාන සන්නිවේදන ක්‍රමය වෙත යොමුවිය. වර්තමානයේ මිනිසා නවමාධ්‍ය ආක්‍රමණය කොට ඇතත් තවමත් මිනිසා වෙත තොරතුරු ලබාදීමේ ප්‍රධාන මෙහෙවර කරන්නේ ජනමාධ්‍ය මඟින් බව අමුතුවෙන් කිවයුතු නොවේ. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය යනු එම ජනමාධ්‍ය ත්‍රිත්වයයි. වර්තමානය වන විට මෙම ජනමාධ්‍ය මිනිසාගේ ජීවන රටාවේ කේන්ද්‍රය මෙහෙයවීමට තරම් බලවත් වී ඇත. පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය උඩු යටිකුරු කිරීමට තරම් බලයක් ජනමාධ්‍ය සතුවේ. මෙනිසා සන්නිවේදන කාර්යය තුළ මිනිසා ජනමාධ්‍ය සමඟ සිදුකරන ගනුදෙනුවේදී ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
මිනිසා විටෙක සහෘදයෙකි. විටෙක රසිකයෙකි. තවත් විටෙක ප්‍රේක්ෂකයෙකි. පාඨකයෙකි. මෙම කුමන නාමයන්ගෙන් එක් එක් මාධ්‍යන්ට විශේෂිතව මිනිසා හඳුන්වනු ලැබුවද පොදුවේ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ ඔහු ග්‍රාහකයෙකි. මෙතැන් සිට මෙම ලිපිය තුළ මිනිසා පොදු වශයෙන් හඳුන්වනු ලබන්නේ ග්‍රාහකයා යන නාමයෙනි. ජනමාධ්‍ය සමඟ කටයුතු කරන ග්‍රාහකයා සතුව පැවතිය යුතු ඉතාම වැදගත් ගුණාංගයක් ලෙස විචාරශීලී ග්‍රාහකත්වය හැඳින්විය හැකිය. විචාරශීලී ග්‍රාහකයෙකු ලෙස අර්ථ දක්වන්නේ වගකීමකින් හා නිසි අවබෝධයකින් යුතුව විමර්ශනශීලීව ජනමාධ්‍ය සමඟ කටයුතු කරන පුද්ගලයෙකි. එනම් ජනමාධ්‍යයන්ගෙන් ලබාදෙන සන්දේශයන්හි මතුපිට අරුත මෙන්ම යටි අරුතද මැනවින් විමසා බලා කටයුතු කරන්නෙකු ලෙස සරලව හඳුන්වාදිය හැකිය.
මෙම විචාරශීලීත්වය මිනිසාට උපතින් ලැබෙන්නක් නොවේ. නැතහොත් පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන්නක්ද නොවේ. එය ග්‍රාහකයා විසින් ජනමාධ්‍ය පිළිබඳව ස්වයං අධ්‍යයනයකින් ලබාගත යුතු වන්නකි. ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය හා එහි අන්තර්ගතය පිළිබඳව සන්සන්දනාත්මක විග්‍රහයක් සිදුකිරීම තුළින් මෙකී ග්‍රාහක විචාරශීලීත්වය උසස් මට්ටමකට ගෙන ඒමට හැකිය. කෙසේ වෙතත් මාධ්‍ය සාක්ෂරතාව අතින් පහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාව වැනි රටක මෙම ග්‍රාහක විචාරශීලීත්වය ඇති කිරීමද මදක් අපහසු කාර්යයකි. මන්දයත් වර්තමාන ජනමාධ්‍ය න්‍යාය පත්‍රය මඟින් ග්‍රාහකයා සතු විචාරශීලීත්වය අක්‍රීය කර ඇති බැවිනි.
ජනමාධ්‍ය බොහෝවිට තම වැඩසටහන් ව්‍යූහය සකස් කරනු ලබන්නේ ළමයින්, කාන්තාවන් හා යෞවනයින් යන ප්‍රධාන ජන කණ්ඩායම් ඉලක්ක කරගෙනය. එම ජන කොටස් නිරායාසයෙන් කිසිදු විචාර බුද්ධියකින් තොරව ජනමාධ්‍ය මඟින් මවනු ලබන සිහින ලෝකය තුළ මංමුලාව කටයුතු කරනු දැකගත හැකිය. මහාචාර්ය විල්බර් ශ්‍රාම් පවසන ආකාරයට ජනමාධ්‍ය මඟින් තුන් ආකාරයක භූමිකා ඉටු කළ යුතුය. එනම්,
            01) ආරක්ෂකයෙකු
            02) සංවාද මණ්ඩපයක්
            03) ගුරුවරයෙකු යන භූමිකා ඒවා වේ.


නමුත් වර්තමාන ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මෙකී භූමිකා මැනවින් ඉටු කරන්නේද යන්න ගැටලුවකි. වාණිජකරණය වූ සමාජයක වර්තමාන ජනමාධ්‍ය කටයුතු කරන්නේ ලාභ ලබාගැනීම හා ජනප්‍රියත්වය ලබාගැනීමේ පටු අරමුණු තෘප්ත කරගැනීම සඳහාය. ජනමාධ්‍ය අන්තර්ගතය පවා සකස් කරනු ලබන්නේ වාණිජ අරමුණු ඉටු කරගැනීමට බව ඒ පිළිබඳව විමර්ශනශීලීව බැලීමේදී පැහැදිලි වේ. කෙසේ වෙතත් ග්‍රාහකයාට මෙම ජනමාධ්‍ය මවන ජනප්‍රිය සංස්කෘතිය හා අතාර්තික සිහින ලෝකය පිළිබඳව අවබෝධයක් නැත. එකී තත්ත්වයට ග්‍රාහකයා හෙවත් මිනිසා පත් කර ඇත්තේද ජනමාධ්‍යයමයි. මිනිසා සතු විචාරශීලීත්වය, පරිකල්පනය ජනමාධ්‍ය මඟින් උදාසීන කර තිබේ.
විශේෂයෙන් ජනමාධ්‍ය තුළින් ඉදිරිපත් කරන දැන්වීම්කරණය මඟින් මෙම තත්ත්වය මැනවින් පැහැදිලි කරගත හැකිය. එහිදී ජනමාධ්‍ය මිනිසාගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ඉතා සුක්ෂමශීලී ලෙස භාවිතයට ගන්නේ දක්ෂ මනෝ වෛද්‍යවරයෙකු පවා අතික්‍රමණය කරමිනි. ග්‍රාහක පිරිස ස්පර්ශ කරන වර්ණ, හැඩතල, රූපරටා යනාදිය ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීමෙහිලා ජනමාධ්‍ය ඉදිරියෙන් සිටී.
ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය මඟින් ජනමාධ්‍ය මිනිසාගේ දෙනෙත් නොයෙක් කඩතුරාවන්ගෙන් වසා තිබේ. එවැනි තත්ත්වයක් තුළ මිනිසාට ජනමාධ්‍ය සන්දේශයන්හි යටි අරුත හඳුනා ගැනීමට අපහසු වී තිබේ. වර්තමාන සමාජයේ පැන නැගී ඇති පුද්ගලාත්මක ගැටලු හා සමාජ ගැටලු බොහෝමයකට හේතු වී තිබෙන්නේ ග්‍රාහකයාගේ අවිචාරමත්භාවය බව එම කරුණු දෙස ගැඹුරින් විමසා බැලීමේදී පැහැදිලි වේ. එනිසා රටක බහුතරයක් වූ ග්‍රාහක පිරිස වෙත වගකීමකින් හා විචාරශීලීව ජනමාධ්‍ය පරිහරණය කිරීමට අවශ්‍ය නිපුණතාව සංවර්ධනය වී උසස් මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් රට තුළ ඇති කළ යුතුය. එය යුගයේ කාලීන අවශ්‍යතාවයකි.
                                                                           
                                                                                           

Thursday, June 14, 2018

වර්තමාන ගීතය හා තරුණ පරපුර


වර්තමාන ගීතය හා තරුණ පරපුර

ගීතය වනාහී නානාප්‍රකාර වූ සාහිත්‍යාංග අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා සාහිත්‍යාංගයකි. මිනිසාගේ පරිකල්පනය අවදි කර උසස් මනෝභාවයන් කරා මිනිසාගේ මනස මෙහෙයවීමට තරම් අපූර්ව බලයක් ගීතය සතුය. එමෙන්ම අවිවේකී මිනිස් සිතට සැහැල්ලු වින්දනයක් ලබාදීමට ගීතයට ඇත්තේ පුදුම ශක්‍යතාවයකි. එදිනෙදා තම වැඩකටයුතු කරන අතරවාරයේ තමන්ටත් නොදැනුවත්වම ගීතයක් තම මුවින් පිටවන අයෙකු සොයාගැනීම අපහසු නොවේ. ඒ තරමටම මිනිසා ගීතය හා බැඳී පවතී. මෙකී කාරණයේදී ඉදිරියෙන්ම සිටින්නේ වත්මන් තාරුණ්‍යයයි. තාරුණ්‍යය යන පදය සමඟම සමපාත වන ප්‍රේමය යන අත්දැකීම පාදක කරගනිමින් අද බොහෝ ගීත රචනා ලියැවෙන්නේ හිසේ කෙස් ගාණටත් ඉහළිනී. මෙම ලිපිය ලියන මොහොතේද, ඔබ මෙම ලිපිය කියවන මොහොතේද නොයෙක් ගී පදවැල් ලෝකය තුළ රචනා වනු ඇත. නමුත් එකී පදවැල් අරුත්බරද යන්න අද සමාජයේ විද්වතුන් නගන පැනයකි.

ප්‍රේමය නම් වූ සුන්දර අත්දැකීම කෙනෙකුට සුන්දරත්වයක් එක් කරන අතරම තවත් කෙනෙකුට එකී අත්දැකීම විටෙක දුකක් ගෙනදෙන බව අප හොඳින් දන්නා කරුණකි. ආදරය කිරීම, විරහව මෙලොව සැමට පොදුවූ අත්දැකීම්ය. නිර්මාණකරුවන් මෙකී අත්දැකීම් ඉදිරිපත් කිරීමට යොදාගන්නා වර්තමාන ගී පදවැල් අතීත ගීත නිර්මාණයන් සමඟ සසදා බලන කල ඉතා පැහැදිලි වෙනසක් දැකගත හැකිය. H.R.  ජෝතිපාල, ලතා වල්පොල, මිල්ටන් මල්ලවආරච්චි, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක යනාදී ප්‍රවීණ ගායක ගායිකාවන් එකී අත්දැකීම් ඉතා හෘදයාංගම ලෙස රසිකයා අතරට ගෙනයාමට සමත්කම් දැක්වූහ. ඔවුන්ගේ සුමිහිරි ගායනාවන් රසික සිත් අමන්දානන්දයට පත් කළ බව නොරහසකි. එම ගී පදවැල් වර්තමාන තාරුණයය තුළින්ද නිරායාසයෙන්ම ගැයෙන්නේ ඒ තරමටම එකී ගී පදවැල් හා ගායනා මිනිස් හද ඇඳබැඳ ගත් නිසාය.

වර්තමානයේ රචනා වන බොහෝ ගීත තුළ කිසිදු රසවත්භාවයක් හෝ අර්ථාන්විතභාවයක් දැකගත හැකිවන්නේදැයි විමර්ශනශීලීව අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. වත්මන් ගීත රචනා බොහෝමයක දැකගත හැකිවන්නේ ඒකාකාරී වදන් මාලාවකි. එම පද තුළ නිසියාකාර භාව ප්‍රබෝධයක් නැත. බොහෝ ගායකයින් ගීතය ගායනා කරන්නේ විලාපයක් මෙනි. එකී විලාපය රසිකයාගේ දුක තුනී කරනු වෙනුවට රසිකයාගේ සිත තවත් චංචල කරයි. එකී විලාපකාරී ගායනාවන් රසික සිත් අමන්දානන්දයට පත් කරනු වෙනුවට තරුණ සිත් තුළ නොසන්සුන්තාවයක් ඇති කරයි. කෙසේ වෙතත් වත්මන් තාරුණ්‍යය එම ගීත ආදරයෙන් වැළඳගෙන හමාරය. ගීතයේ භාවාතීශමය හැඟුමන් පුබුදුවනු විනා තාවකාලික වින්දනයක් සඳහා තරුණ්‍යය එම ගීත වැළඳගෙන හමාර බව අමුතුවෙන් කිව යුතු නැත.

ගීතයට මේ යැයි කිව හැකි නිශ්චිත භාෂාවක් නැත. නමුදු යොදාගන්නා පද සංඝටනය තුළින් ගීතයට මනරම් භාෂාවක් ගොඩනැගේ. ප්‍රේමකීර්තිද අල්විස් වැනි සුන්දර ගායකයින් ගීතය තුළින් උද්දීපනය කළ රසය මේ යැයි කියා වචනයෙන් පැවසිය නොහැකි තරමටම විශිෂ්ට මට්ටමක පවතින බව ලොකු, කුඩා කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ගීතයේ වදන් වැල් සහෘද අභ්‍යන්තරය කැලඹවීමට උත්සාහ කරයි. ගීතයේ නාදවැල් සහෘදයා අපූර්ව වූ ලෝකයකට ගෙනයාමට සමත්කම් දක්වයි. කලාවට හෝ ගීතයකට සිදුකළ හැකි ආශ්චර්යය එයයි.

වර්තමාන ගී සාහිත්‍යය දෙස අවධානය යොමු කිරීමේදී එවන් ආශ්චර්යයක් දැකගත හැකිවන්නේදැයි සැක සිතෙන කරමටම ගීතය නම් වූ ගී කලාව පිරිහී තිබෙන බව මාගේ හැීමයි. බැලූ බැලූ අත ගීත ගායනා ඇසේ. නමුත් බොහෝ ඒවා නිස්සාර ගී පමණය. නමුත් උසස් යැයි රසවින්දනයක් ගෙනඑන ගීතද මේ අතර නැත්තේද නොවේ. වර්තමාන ගීතය වාණිජත්වය නම් සංකල්පය හමුවේ බාල මාධ්‍යයක් බවට පත්වූ ඇති බව කිව යුතුය. වාණිජ අරමුණු ඉටුකර ගැනීම හා ජනප්‍රියත්වය නම් පටු අරමුණු හමුවේ ගීතයේ අරුත්බර රසාලිප්තභාවය පහළ මට්ටමකට පත්වී ඇත. නූතන ගීවල නාදමාලාවන් ඉතා ආකර්ශනීය ස්වභාවයක් ගනී. නමුත් ගීවල අරුත්බරභාවයක් නම් දැකගැනීම දුෂ්කරය. පෙම්වතා හැරයාමේ විරහ වේදනාව, ප්‍රේමය යනාදී සියලු භාවයන් අපූර්ව අයුරින් ඉදිරිපත් කිරීමට ගායකයා සමත්විය යුතුය. එපමණක් නොව ගී පද රචනයද ඒ හා සමාන විය යුතුමය. යුගයේ අවාසනාවටදෝ අද වන විට එවන් සුන්දර ගී සාහිත්‍යයක් අප සමාජය තුළින් දැකගත නොහැක. යම් පද මාලාවක් කෙලෙසින් හෝ ගැටගසා එය ජනප්‍රිය කරගැනීම මූලික වී ඇති අතර ඊට සමාන රසිකත්වයක්ද සමාජය තුළ ගොඩනැගී ඇත. රසවින්දනය මුදලට විකිණෙන තත්ත්වයකට පත්වීම නම් සැබවින්ම යුගයේ අවාසනාවකි. තරුණ පරපුර නූතන ගීතය හමුවේ ආනන්දයෙන් ප්‍රඥාවට යනු විනා මෝහයට පත්වෙමින් මංමුළා වී කටයුතු කිරීම සමස්ත ජාතියේ ඉරණම පෙන්නුම් කරන කලු එළියකි. මෙකී අවාසනාවන්ත තත්ත්වයෙන් යළි උසස් රසවින්දනයක් කරා මෙහෙයවීමට හැකියාව ඇත්තේද ගීත සාහිත්‍යයටම බව මෙහිදී මතක් කළ යුතුමය.